Monday, May 30, 2011

පොලිස් රාජ්‍යය සහ සේවක අයිතීන්

වත්මන් ආණ්ඩුව විසින් පුද්ගලික ක්ෂේස්ත්‍රෙය් සේවා නියුක්තිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් යෝජනා කර සිටියේය. ආණ්ඩුවේ විග්‍රහයට හා දැනුමේ තරමට පුද්ගලික අංශය වෙනුවෙන් යෝජනා කරනු ලැබ තිබූ විශ්‍රාම වැටුප, මේ මිහිපිට පුද්ගලික අංශ සේවකයෙකුට හිමි විය හැකි වාසනාවන්තම හා දැවැන්තම දෑවැද්දයි. මේ යෝජනාව ගෙන එමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ආණ්ඩුවේ උත්සාහය වූයේ, කවුරුන් මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කරන බවයි.

නමුත්, මේ වෙනුවෙන් විරෝධතා රාශියක් එල්ල විණි. පැත්තකින් දේශපාලන හා වෘත්තීය සංවිධාන මීට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කළේය. තවත් පැත්තකින්, අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් යොමු වූයේය. අධිකරණ තීරණ හෝ ඉනික්බිති තත්ත්වය මෙහිලා කියැවීම නොවටියි. තව දුරටත් දේශීය වශයෙන් ස්වකීය ගෞරවය හා අභිමානය අධීකරණය විසින් පවත්වාගෙන යමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු පිණිස-ඒ අරමුණින් තීන්දු තීරණ ලබා දෙන්නේ යැයි අප තුළ විශ්වාසයක් ඇත. නමුත් අප විසින් උද්ඝෝෂණමය හා බලපෑම්කිරීමේ ආකෘතිමය ස්වභාවයේ සිද්ධීන් හා තත්ත්වයන් කිහිබයක් කියවා ගත යුතුව ඇත. එසේ කියැවීම පිණිස සමාජ කරුණු හා සිද්ධීන් කිහිපයක් විසින් අප පොළඹවනු ලැබ ඇත.

අද (මැයි 30 වෙනිදා) කටුනායක ප්‍රාද්ශයේදී පුද්ගලික අංශයේ සේවකයින් රැසක් යෝජිතව තිබූ විශ්‍රාම වැටුප් යෝජනාවට විරෝධය ප්‍රකාශ කරමින් උද්ඝොෂණයක් සංවිධාන කර තිබිණි. පළමුව මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්ත ද එම උත්සාහය අසාර්ථක වූ කල්හි ඒ වෙත පහර දෙමින් සුන්නද්ධූලි කර දැමීමට කටයුතු කළේය. පොලීසිය විසින් උද්ඝෝෂනය දහවල් සුන්නද්ධූලි කර දැමූ අතර ස්වකීය පොලිස් දෙපාර්තුමේන්තුවේ අරමුණු, අභිලාෂයන් හා තේමා පාඨයන් මොනවට ප්‍රදර්ශනය කරනු ලැබීය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිද්දෙන්ය යන ව්‍යතිරේඛයට යටත්ව සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කිරීමේ මූලික අයිතියක් සෑම පුරවැසියකුටම ඇතැයි, රක්ෂණය කරන්නේ යැයි සියලු නිළධාරීන් හා බලධාරීන් දිවුරා පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව, තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් යෝජිත විශ්‍රාම වැටුප කෙරෙහි තම නොකමැත්ත ප්‍රකාශ කිරීම පිණිස කටුනායක ‘කලාපයේ‘ සේවකයින් මෙම රැස්වීම හා උද්ඝෝෂණය සංවිධාන කළේය. නමුත්, ඔවුන්ට තමන් පුරවැසියන් ලෙසින් හිමි මූලික අයිතීන් පවා ක්‍රියාත්මක කරවා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. කඩා වැදුණු පොලිස් ලොක්කන් සහ සොක්කන් යන දෙවර්ගයේම පිරිස් පහර පිට පහර දෙන්නට වූයේය. එහෙයින්, කටුනායක සේවකයෝද නිවුටන්ගේ තුන්වන නියමය වහා ආදේශ කොට ප්‍රතිචාර දක්වා ඇත. පොලීසියේ ක්‍රියාවට සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. ඒ හේතුවෙන් පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් ද රෝහල් ගත කර ඇත. පසුව රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව විසින් මෙම යෝජනාව තාවකාලිකව හකුළා ගන්නට තීරණය කළ බව දැන්වීය. 

උක්ත සිද්ධිය යම් ප්‍රමාණයකින් දක්වා සිටියේ, සිද්ධි අධ්‍යයනය පිණිස යම් හෝ සිද්ධි-අවබෝධයක් හා සවිඥානයක විය යුතු හෙයිනි. දැන් එකිනෙක, වෙන් වෙන්ව හා ඇතැම් සිද්ධීන් එක්ව කියැවීම මෙසේ සිදු කරමි. 

යෝජනාව යහපත් එකක් වන්නේ නම්, එම යහපතින් ප්‍රතිලාභ ලබා ගන්නා පාර්ශවයන් එම ප්‍රතිලාභ වෙත නොකමැත්ත ප්‍රකාශ කරන්නේ ඇයි? ප්‍රතිලාභ පාර්ශවය විසින් ස්වකීය නොකමැත්ත යෝජනාව ආරම්භයේ සිටම පෙන්වීය. ම විසින් කියවා ගනු ලැබ ඇති පරිදි එය, සහේතුක විරුද්ධ වීමකි. ප්‍රතිලාභ ඇතැයි කියා, කියූව ද ඒ ප්‍රතිලාභ හෝ විශ්‍රම වැටුප ගණනය කිරීමේ හෝ ලබා දීමේ-ලබා ගැනීමේ පටිපාටියේ කිසිදු විනිවිධ භාවයක් නොවීය. අප සමාජය විසින්, හොදින් ඔතා පාර්සල් කරනු ලැබූ මේ වර්ගයේ ‘අසූචි‘ වලට ඇති තරම් රැවටී මනා අත්දැකීම් ඇත්තේ වෙයි. එහෙයින්, මෙවර ආණ්ඩුව විසින් පාර්සලය නොපෙන්වා පාර්සල් කරනු ලැබූ ‘අසූචි පැකේජය‘ දැක බලා තහවුරු කර ගැනීමකින් තොරව ‘හුරේ‘ දමන පෙර සංස්කෘතියෙන් මිදී සේවකයින් විසින් එය ‘ඇරල පෙන්නන්න‘ යැයි ආණ්ඩුවට කීව ද පාර්සලය විවෘත කොට පෙන්වීමට අසමත් වූයේය. එහෙයින්, නියත වශයෙන්ම ලාභයක මුවාවෙන් දෑවැදි කොට පුද දෙන්නට සූදානම් වන්නේ ‘හොද දෑවැද්දක්‘ නොවන බව සේවකයින් කල්පනා කළා විය හැක. යෝජනාවේ හෝ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයේ විනිවිධභාවයක් හෝ පිළිවෙළක් නොවූ හෙයින් බොහෝ දෙනා ඊට විරුද්ධ විය. නමුත් ඒ සදහා එකග වූයේ කවුරුන් ද. ‘දෙන ඕනෙම වර්ගයේ කුණු ගෙඩක් හුරේ දමා භාර ගෙන පසුව, විදවීමේ ආතල් එක ඇති‘ සියලු දෙනා ඊට එකග විය. අද වන විට පොදි පිටින් පාරට බසිමින් ජීවිතය පවා පරදුවට තබමින් විරුද්ධත්වය ඵල කරන්නට පෙළඹෙන්නේ, මෙවන් විශ්‍රාම වැටුපක් සමග ජීවත් වනවාට වඩා මිය යාම හෝ සැපයි යන අදහසේ සිට විය හැක.

Daily Lankadeepa Sinhala 2011-5-25
පෙර සිද්ධියට අනෙකක් වූ තවත් කියැවීමකි. රජයේ පුද්ගලික විශ්‍රාම වැටුප් යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිරිස් පවා මේ වන විටත් හරි හැටි අවබෝධයකින් යුක්ත නොවන බව පසුගිය දිනෙක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයකින් තහවුරු විය. ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඔහු මෙසේ කියා ඇත, -“ඇත්තටම මම මේකට මැදිහත් වෙලා නෑ. නමුත් මේකට බරපළ විරෝධයක් තියනවද කියල මම දන්නෙ නෑ.“ ඒ අනුව, එක්කෝ මෙම යෝජනාව කැබිනට් යෝජනාවක් නොවෙයි. එසේ වූයේ නම්, යෝජනාව සම්බන්ධයෙන් තම දැනුමක් නැතැයි කීම අමාත්‍ය මණ්ඩුලයේ සාමූහික වගකීම ප්‍රශ්න සහගත වෙයි. එක්කෝ ඔහු නොදන්නා ක්ෂණික හා ඉක්මන් යෝජනාවකි. එසේනම් ප්‍රශ්නසහගත වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යවරුනගේ දැනුවත් භාවයේ ප්‍රමාණය හා ජාතික හා දිගුකාලීන වැදගත් කමකින් යුක්ත යෝජනා සම්බන්ධයෙන් තීරණ ගන්නේ එක්කෝ හොර රහසේ හෝ අමාත්‍යවරුන් පවා නිසි පරිදි දැනුවත් කිරීමකින් හෝ මැදිහත් කරවා ගැනීමකින් තොරව ඒකාධිපති මර්මස්ථානයකින් බවයි. මේ කුමකින් කුමක් වුව ද විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සිද්ධිමය විග්‍රහයක් හෝ හරයාත්මක විග්‍රහයක් කිරීමට ආර්ථික සංවර්ධන ඇමතිවරයා අසමත් වී ඇත. එක්කෝ එසේ කිරීම වැදගත් නොවන්නේ යැයි සිතා ඇත. (පරිශීලනය - දිනපතා ලංකාදීප 2011 මැයි 25 හෝ ඊට ආසන්න දිනකදී). රජයේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් පවා තොරතුරු නොදන්නා යෝජනාවකට හුදීජනයා එකග විය යුත්තේ ඇයි. එසේ එතග වීමට ඇති විශ්වාසය කුමක්ද.

ලියුම්කරුවා විසින් මෙය ලියමින් සිටියදී, ලැබුණු ප්‍රවෘත්තියක් මගින් කියා සිටියේ, අදාල යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට නිදහස් පක්ෂය තීරණය කළ බවයි. ඒ අනුව යමක් ප්‍රත්‍යක්ෂ වෙයි. මේ උණුසුම දියාරු කිරීමේ ක්‍රමවේදයක් පළමුව සකස් කරනු ඇත. පසුව, සමාජ කතිකාව වෙනයම් ජනප්‍රිය සිද්ධියක් මගින් දියාරුවී ඇති මෙහොතක එක්වරම තහවුරු කරනු ඇත. මේ ආණ්ඩුව විසින් එම වර්ගයේ සියලු දේ සිදු කරන්නේ එවැනි උපක්‍රමික ක්‍රමවේදයක් ඇසුරිණි. ලෝක කුසලානයේ අවසන් තරගයට හුරේ දමමින් සිටින විට, දන්නේම නැතිව බඩු මිල ඉහළ දැම්මේය. ඡන්ද ප්‍රතිඵල සමග අමුණා තවත් දේ වල මිල ඉහළ දැම්මේය. සැණකෙළි පෙන්වමින් සම්බුද්ධත්ව ජයන්තියේ පිහිටින් වාහන සදහා බදු ඉහළ දැම්මේය. එහෙයින්, වැඩිකල් නොගොසින් ජනප්‍රිය යමක් සමග අමුණා මෙම යෝජනාව ‘බුලට්‘ කරනවා නියතයි. (ලියුම්කරුගේ බුලට් න්‍යාය - පොදු වින්දනීය මාතෘකාවක් සමග ඈදමින්, සිතාගත නොහැකි වේගයෙන් ව්‍යවසනයක් හෝ අලාභයක් සමාජගත කිරීමේ සිද්ධිය).

Lanka Truth File / 2011-5-30
කටුනායක හෝ වෙනත් තැනක තම සේවක අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන රැස්වීමක් හෝ සම්මන්තුණයක් වේවා, උද්ඝෝෂණයක් වේවා නිදහස් හා සාමකාමී ලෙස පවත්වමින් සිය විරෝධය ප්‍රකාශ කිරීමට සේවකයින්ට නිදහසක් තිබිය යුතු වෙයි. එසේම, අයිතියක් ද තිබිය යුතු වෙයි. මෙම අයිතීන් පොලිස් හෝ වෙනයම් රාජ්‍ය මැදිහත්වීමකින් උල්ලංඝනය නොකළ යුත්තේ වෙයි. එසේ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හිමිකමක් හෝ බලයක් ඇත්තේ නම් එය සේවක අයිතීන් හා ආර්ථික, සමාජ සංස්කෘතික තත්ත්වයන් හා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්ති වලින් හා පිළිගැනීම්වලින් පිළිගෙන ඇති සම්මතයන්ට එරෙහි කෙඓන බලපෑමකි. එසේම, රජයේ ඇමතිවරයෙක් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරියේ රගපාමින්, ‘මැරරෙන්නට පණ අදිමින්‘ සංඛේත මාරාන්තික උපවාස හා උද්ඝෝෂණ කරන විට ඒවාට සහාය දෙන්නටත්, ආරක්ෂාව දෙන්නටත් බස් පිටින් එන පොලීසිය, සේවක අයිතීන් තහවුරු කර ගැනීම පිණිස සාමකාමී අරගලක් කරන විට ඊට පහර දෙන්නේ කුමන පදනමක් තුළ සිට ලෙනදැයි සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටියි. එසේ ප්‍රශ්න කළ යුතු ද වෙයි.

දැන් අප උක්ත ප්‍රධාන කියැවීමෙන් මිදිය යුතු වෙයි. දැන් අප කියැවිය යුත්තේ අභිවර්ධනය වෙමින් පවතින පොලිස් හෝ හමුදා ආණ්ඩු ආකෘතිය පිළිබදවයි. කටුනායක පැවති උද්ඝෝෂණයට පැමිණි පොලිස් නිළධාරීහු ‘නීතිය හා සාමය ආරක්ෂා කිරීම‘ නැමති සිය උදාන කාර්යය මැනවින් ඉටු කරනු ඔබ දක්නට ඇත. පොල්ල-තුවක්කුව හා ගල් මුල් යන සියල්ල පොලීසියේ රිසි සෙල්ලමට උපකාර කර ගත්තේ පරිඝණක ක්‍රීඩාවකදී වැනිය.

AFP File 
පොලීසිය යනු මහජනයාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගකීම කොටගත් ආයතනයයි. සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටිනා පිරිසකට පහර දී එළවා දැමීම පිණිස පොලීසියට නීතිය පවරනු ලැබ ඇත්තේ කුමන ව්‍යවස්ථාදායක ක්‍රියාවකින් හෝ නීතියකින් ද යන්න අප තවමත් සොයමින් සිටිමු. එසේම, නව පොලිස්පති වරයා පොලීසියේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස නව තේමා පාඨයක් හදුන්වා දුන්නේය. සෑම පොලීසියක්ම මහා වියදමක් දරමින් ත්‍රෛ භාෂාවන්ගේන් එම පාඨය සිය පොලිස් කාර්යාය ඉදිරියේ අටවාගෙන සිටියි. “මහජන මිත්‍රශීලී වෘත්තීමය අභිමානවත් පොලිස් සේවයක් සදහා“ යනු එයයි. 

පොලීසිය මහජන මිත්‍රශීලී වෙමින් සිටින්නේ සියලුම පොදු ගැටළු හා අර්බුද වෙනුවෙන් පහරදෙන්නාගේ භූමිකාව නිරූපණය කරමින්ය. පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිට සාමාන්‍ය ජනයා පීඩාවට පත් කරනු ලබන දේ සිදු කරමින් ඔවුහු මිත්‍රශීලීත්වය වර්ධනය කරගනිමින් සිටියි. වෘත්තීමය අභිමානය ගැන කිසිවක් නොලියමි. පොලීසියේ වෘත්තීමය වගකීම හා අභිමානය, වෙන කොතැනටත් වඩා අප මහ පාරේ යන එන විට දකියි. අත් විදියි. මේ වන විට යම් පොලිස් නිළධාරීන්ගේ ‘මොරාල්‘ හැදී ඇත්තේ, ‘ඕනෙම දෙයක් කරන්න පුළුවන් කෙළිකාරයින් අපි‘ යනුවෙනි. මෙම තත්ත්වය දිනෙන් දින වැඩිවනවා මිස අඩු වීමක් හුදී ජනයා ලෙස අප අත් නොවිදින්නෙමු. (මා කියමින් සිටින්නේ සමස්ථය ගැන නොවූව ද පොලීසිය නමින් නියෝජනය කරනු ලබන එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකුගේ සිට බහුතරය දක්වා වන පිරිසය). බම්බලපිටිය මුහුදේ දී උම්මන්තකයෙකුගේ ජීවිතය සමග කළ සෙල්ලම, අගුලානේදී තරුණයින් දෙදෙනෙකුගේ ජීවිතය සමග කළ සෙල්ලම ආදිය අපිට මතකයේ ඇති මහජන මිත්‍රශීලී කාර්යයන් රාශියකි. ඔබ දන්නා කුදු මහත් සිද්ධීන් මේ හා ඈදා තියවා ගනු වටියි.

කෙසේ නමුත්, අධ්‍යාපනය - සෞඛ්‍ය - විනය - ආගම - සංස්කෘතිය ආදී සියල්ල රණවිරුකරණයේ මුවැවෙන් පොලිස්කරණය හෝ හමුදාගරණය වෙමින් පවත්නා සමාජ තත්ත්වයක් උඩ, පුද්ගලයෙකුට විශ්‍රාම වැටුපක් අවශ්‍ය වන්නේ ද නැද් ද, ඒ වෙනුවෙන් අරගලයක් කළ යුත්තේ ද කියා තීරණය කිරීමේ අභිමතය මේ වන විට පොලීසියට හිමිව ඇත. පොලීසිය එසේ සිතා සිටියි. අවසන ලියමි. පොලීසිය නම් වූ ආයතනය හෝ සංවිධානයයේ අරමුණු හෝ ප්‍රතිපත්තීන් ප්‍රශ්න නොකරමි. නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීමේ හා ලියා තැබීමේදී දක්නට ඇති පරස්පරතාවය හා දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමි. මා කියැවීම අවසන් කරන්නට පෙර තවත් සිද්ධියක් මෙහි ලියමි. 

2009 වසරේ පොසොන් සජීව විකාශයක් සදහා මා එකල සේවය කරමින් සිටි ආයතනයේ ආගමික අංශයේ අප කණ්ඩායමක් අනුරාධපුරයේ ගියෙමු. එහිදී, අප කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරියකගේ පාසල් මිතුරෙකු වූ ඒ වන විට අනුරාධපුර පොලීසියේ මහපුටුවේ සිටි නිළධාරියා අපට මුණ ගැසිණි. ඔහු අපට කෑම බීම දී යහමින් සැලකුවේය. අවසානයේ රාජකාරී අතරවාරයේ වේලාවක් වෙන් කරවාගෙන පැමිණ නිළ ඇදුමෙන්ම සිට විතක් මදුවිත තොල ගෑවේය. මදුවිත තොල ගාමින් සිටින විට ඔහු පොලීසිය ගැන ස්වකීය විවේචනය ඉදිරිපත් කළේය. ‘මචං, පොලිසිය ගැන වැරදියට හිතන්න එපා. පොලිසිය බලු වෙලා නෑ. ඒක තවම තිබ්බ විධියමයි. හැබැයි දැන් බල්ලො පොලිසියට ඇවිත්‘ හේ කීවේය. (සාක්ෂි - හිෂාන් සුමීර, මධුර සෙනවිරත්න, සුපුන් හෙට්ටිආරච්චි, නිශාන්ත බණ්ඩාර, තීක්ෂණ, කසුන් සහ මම / 2009 පොසොන් සජීව විකාශයට පෙර දිනය / වන්නි යුධ හමුදා මූලස්ථානය ඉදිරිපස දොරටුව අභියස අවසන් හෝටලයේ දෙවෙනි මහලේ සදළුතලය / සවස). මා අද ද ඔහු සමග එකග වෙමි.

1 comment:

Thidas said...

ඔය කරේ මුට්ටිය දාලා බැලිල්ලක්. ඉස්සෙල්ල මුට්ටිය දාලා, කවුද මෙකට කැමති, කවුද අකමැති, මොන හේතු නිසාද අකමැති වගේ දේවල් හොයල බලනවා. ඊට පස්සෙ අකමැති හේතු වලට විසදුම් දෙනවට වඩා අකමැති අයට විවිධ ප්‍රතිකාර දෙනවා. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ අකමැත්ත දියාරු වෙලා යනවා. ඊළගට, හිතාගන්න බැරි වෙලාවක එක පාරම නැවත ඉදිරිපත් කරල දඩි බිඩි ගාලා සම්මත කර ගන්නවා.
18 සංශෝධනේ බලන්න. එක පාරක් දෙපාරක් යෝජනාව දැම්මා. එලියෙන් ඇතුලෙන් දෙපැත්තෙන් ම විරෝධය ආවා. විරුද්ධ වෙන්නෙ කවුද කියල හොයාගත්තට පස්සෙ සංශෝධනේ තාවකාලිකව අකුල ගත්තා. විපක්ෂෙයි අනිත් අයයි අය නම් ඕක නම් අයේ ගේන එකක් නෑ කියල හිතල බුදිය ගත්තා. ඇතුලෙන් විරුද්ධ වෙන ලයින් එකේ හිටිය අයට අදාළ ප්‍රතිකාර ලැබුණා. මාසයයි දෙකයි ගියේ මෙන්න බොලේ 18 සම්මතත් වෙලා.