Wednesday, May 25, 2011

ගොඩයාගේ කොළඹ ගමන

“නියර අග පදුර මුල            පහරා,
යාය මැද වක්කඩෙන්        හෝදා,
තැඹිලි වල්ලක් ගත්ත         කරටා,
කොන්දටත් කීව සර්        කියලා,
සරම් අමුඩෙන් මහවැලිය    පීනා,
සුද්ද විදු ගල හිතල මග     ඇරියා,
වනය පාදා අපි පාරකුත්   කැපුවා,
කැළණි ගග ලග දවල්ට      කෑවා,
සරම් අමුඩෙන් කැලණියත් පීනා,
ගෝඩේ ඉදලා කොළඹ       ආවා...

තවත් කළ දේ - පහුවෙලයි මතක්    වූයේ,
නුවර ටවුමෙදි - දළදාත්               වැන්දේ,
කොළඹ ඇවිදින් - කැලණියත්     වැන්දේ,
අලුත් නුවරදි - පඩුරකුත්               දැම්මේ...“

මම ගොඩයෙක්මි. අපි බෝහෝ දෙනා ගොඩයෝ වෙමු. තවත් විධියකට කියන්නේනම් මම සංස්කෘතික මිනිසෙක්මි. අපි බොහෝ දෙනා සංස්කෘතික මිනිසුන් වෙමු. අප බොහෝ දෙනා උපදින්නේ කොළඹ වීම නම් වූ බිම් වාසිය රහිතවයි. එහෙයින්, අප විසින් කොළඹ වෙත නගරය අතික්‍රමණය කිරීම පිණිස බොහෝ අරගල කළ යුතව ඇත. අද වන විට, දේශභ්‍යන්තරිකව සේම ඉන් භාහිරවද නගරයේ චරිත බවට පත් වන්නේ ‘ගොඩ‘ හෝ ‘ඩොට‘ අතික්‍රමණය කරමින් නගරයට සංක්‍රමණය වූ මිනිසුන්ය. එය අද ද එසේම සිදු වෙමින් පවතියි. ම විසින් මෙසේ කියවනු ලබන්නේ ගොඩයකු වීමේ සිට ආගන්තුකයකු ලෙස නගරයට ගෙවදින මිනිසාගේ ජීව ගුණය හා ඒ මිනිසාගේ මනෝ භාවයේ පෝෂණය ගැනයි.
ගම තවම පිරිපුන්ය. නමුත්, ගම විසින් නිර්මාණය කරනු ලැබූ කිසිවෙක් ගමට හිමි තැනි තරම් වන යුගයකි අද. ගොවිකමින් ජීවිතය සරි කරගන්නා ‘ගොඩේ අප්පච්චිගේ‘ සිහිනය තම දරුවන් ගොඩ / ගම අතික්‍රමණය කරනවා දැකීමයි.  ඒ වෙනුවෙන් අපේ පියවරුන්ගේ පියවරු මහත් කැපවීමක් කර ඇත. ගමේ වටපිටාව හැර විශ්ව විද්‍යාලයක්, පාසලක් තබා හරිහැටි කියවීමට පත්තරයක්වත් ගමට නොආ යුගයක තම දරුවන් පිළිබද දරාගත නොහැකි සිහින දුටු පරපුරකි අපේ සීයාගේ පරම්පරාව. නමුත්, අපේ සීයා තම දරුවා වූ අපේ අප්පච්චිගේ පරම්මපරාව සමාජයේ පොරක් කිරීමේ සිහිනය අඛණ්ඩව දැක්කේය. ඒ සියලු සිහිනයන් දකින අතරවාරයේදී පවා, තම දරුවා සංස්කෘතික මිනි‍සෙක් කිරීමේ වෑයම ද අත් නොහැරියේය.
අපේ සීයාගේ තාත්තා යටත් විජිත රාජ්‍යයක අදුරු වූ, නාගරික පංතියම පමණක් ‘ගොඩ යන‘ යුගයක ජීවත් වූ මිනිසෙකි. නමුත් අපේ සීයාගේ පරම්පරාව යටත් විජිත මානසිකත්වයෙන් මුදවා ගැනීම පිණිස සීයාගේ තාත්තා අප්‍රමාණ ලෙස අරගල කර ඇත්තේය. අපේ සීයලා, 47 තරුණයෝය. යටත් විජිතයෙන් මිදීම, විමුක්තිය හෝ නියම දිනුම නොවේ යැයි වටහා ගත්හ. එහෙයින්, අපේ සීයලා විසින් ඔවුන්ගේ දරුවන් 56 දරුවෝ කළහ. ඉගැන්වූහ. සමාජය කියැවීමට ඉගැන්වුයේය. කිසිම දවසක පාසලකට ගොස් නැති සීයාලා, තම දරුවන් වූ අපේ අප්පච්චිලාගේ පරම්පරාව පාසල් යැවූහ. කිසි දවසක පත්තරයක් කියවා නැති ඔවුන්, අප්පච්චිලාගේ පරම්පරාව වෙනුවෙන් පත්තර අච්චු ගැසුවේය. සිනමාව නිර්මාණය කළේය. ගී ගැයුවේය. පොත් ලීවේය. හරක් බැලීමේ සිට රටක් බැලීම දක්වා වූ පන්නරය ලබා දුන්නේය. අද රට බලාගන්නේ අපේ අප්පච්චිලාගේ පරම්පරාව වන්නේ, සීයලාගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි.
අපේ පියවරු ඔවුන්ගේ පියවරුන්ගේ සිහිනය ඉක්මවා ගිය සිහින දකිමින් සිටියේය. 77 වන විට යෞවනයේ සංඛේතීය නියෝජනය වන්නේ, අපේ අප්පච්චිලායි. රටක් ගැන හරි හැටි අවබෝධයක් වත් නැති කලෙක රට ලෝකයට විවර කළේ ඒ යුගයේදීයි. එහෙයින්, රට කියැවීම වෙනුවට ලෝකය හැදෑරීමට අපේ පියවරුනට සිදු විය. ඔවුහු හැකි පමණ එය කළහ. නමුත් සීයලාගෙන් ලද පන්නරය නිසා, ලෝකය හැදෑරීම කෙතරම් ප්‍රබල කොට ගත්තද සංස්කෘතික මිනිසා ඝාතනය කිරීමට ඔවුහු නොපෙළඹුනෝය. ඔවුහු, කලෙක අපේ අධිරාජ්‍යන්ව සිටියදී අපි දණ ගසාගෙන සිටිවුන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන හරි හරියට පෑහිණි. ඇතැම් විට, ගොඩයකුව සිටි ලෝකය හැදෑරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ටද ඇතැම් දේ හැදෑරෙව්වේය. නමුත්, අප්පච්චිගේ පරම්පරාවට හෝ නිසි ලෙස නගරය අතික්‍රමණය කිරීමට නොහැකි වූවා යැයි සිතේ.
අප ඉන් පසු පරම්පරාවයි. එනම්, සීයාගේ තාත්තාගේ පරම්පරාව වූ පළමු පරම්පාරේවත්, සීයාගේ පරම්පරාව වූ දෙවැනි පරම්පරාවේවත්, අප්පච්චිගේ පරම්පරාව වූ තුන්වෙනි පරම්පරාවේවත් නොවෙන වෙනත් පරම්පරාවක වුන්ය. සරලව කියන්නේ නම්, අප ‘පශ්චාත් යුධ පරම්පරාවේ මිනිසුන් වෙමු.‘ නමුත්, අපේ පරම්පරාවටද නගරය අතික්‍රමණ කිරීම පිණිස බොහෝ අරගල කළ යුතුව ඇත. අප සංස්කෘතික ගොඩයන් ලෙස අසංස්කෘතික නගරය අතික්‍රමණය කරන්නේ කෙසේද? කොළඹ බෝඩ්ම් වූ පමණින්, කොළඹ රස්සාවක් කළ පමණින් හෝ කොළමින් ගෑනියෙක් ගත් පමණින් අප කොළඹ පැමිණ සිටින්නේ යැයි කිව හැකිද? දැන් අප අප ගැන කියවා ගත යුතුව ඇතැයි යන්න මගේ යෝජනාවයි.
සුරක්ෂිත පැහැරීමක් වෙනුවෙන් වන සනීපාරක්ෂක පහසුකම් ද ඇතුළු බොහෝ සුඛෝපබෝගී පහසුකම් අද වන විටත් ගොඩයන් විසින් නොලද්දේ වෙයි. නළ ජලය හෝ තෙකලා විදුලි ගමට නැත. 
                                  ‘නියර අග පදුර මුල            පහරා,
                                   යාය මැද වක්කඩෙන්        හෝදා‘
නමුත් කොළඹුන්ට වඩා ගොඩයා වෙනස් වන ප්‍රබල තැනක් ඇත. කොමඩ් එකේ පහරන කොළඹුන් කඩදාසියන් පිසදමා ගත්තත්, තවමත් ගොඩයන් සොදා ගනියි. ගොඩයා සංස්කෘතිකව දියුණු යැයි කියන්නේ එහෙයිනි. කුප්පි ලාම්පුව හෝ භූමිතෙල් ලාම්පුව විසින් තවදුරටත් අධ්‍යාපනයේ අදුර දුරලමින් සිටින යුගයකි මේ.
ගමේ ගොඩයාට නගරයට සංක්‍රමණය වීම පිණිස විශාල මිලක් ගෙවීමට සිදුව තිබේ. ඒ තමා විසින් තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම හා හුස්ම පොද තවදුරටත් සුරක්ෂනය කැරගැනීම පිණිසයි. තම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තියන ඕනෑම දෙයක් විකුණා හෝ වියදම් කිරීමට අපේ පියවරුන් සූදානම්ය. ඒ වෙනුවෙන්, අසනීපයක් වෙනුවෙන් සංචිතව ඇති මුදලක්, දෑවැද්දක් වෙනුවෙන් ඇති දේපලක් වාගේම, බඩ සරි කර ගැනීම වෙනුවෙන් තබා ගන්නා කෑම වේලක් හෝ දරුවා වෙනුවෙන් පිදීමට ඔවුහු සූදානම්ය. ම විසින් තැඹිලි වල්ලේ උපමාව යොදන්නේ ඒ නිසායි. තැඹිලි වල්ලකින් කොළඹ විත් කරන්නට හැකි මගුලක් නැති වුවත්, තමන් සතු අවසන් භූදලය වන තැඹිලි වල්ල හෝ තම දරුවා වෙනුවෙන් වැය කිරීමට පියවරුන් පෙළඹෙති.
                                  ‘තැඹිලි වල්ලක් ගත්ත         කරටා‘

අද වන විට පෙරටත් වඩා සමාජය ප්‍රභූකරණය වී ඇත. වැඩක් කර ගැනීමට නම් වරදානයක් හෝ වරප්‍රසාදයක් අවශ්‍ය වේ. වෙනයමක් තබා වැචික අල්ලසක්වත් නැති තැනක කරගත හැකි වැඩක් නැත. සරලවම කියන්නේ නම්, නොදන්නා පාරක බස් එකේ යන විට, බහින්නට අවශ්‍ය තැන කියා එතැනින් බස්සා ගන්නට, කොන්දොස්සරට පවා ‘සර්‘ කිවිය යුතු සමාජයකි අද ඇත්තේ. අප ගොඩේ සිට කොළඹ එන විට, අපට මග කියා දෙන්නට එකෙක් නැති තරම්ය. අප ඒ වෙනුවෙන් මුළුමහත් කොළඹක් ඉදිරියේ දෙකට නැමීමට සිදු වෙයි.
                                   ‘කොන්දටත් කීව සර්        කියලා,‘

නමුත්, නාගරික කොළඹයාට වඩා ගොඩයා දක්ෂ මිනිසෙකි. ඔහුට කොළඹ පැමිණ සනාථ විය හැක්කේ කුසලතාව හා කෞෂල්‍යයන් මත පමණි. නැත්තම් ගොඩයාගේ පස්සට පයින් ගසා එළවා දැමීමට සියලු කොළඹුන් මාන බලති. ගොඩයා සතු පරම කුලතාව පමණක් ගොඩයා ගොඩ දමයි. කොළඹුන් ස්මින් ට්‍රන්ක් ඇද පිහිනන තටාකයේ ගොඩයා ඇදි සරමෙන් අමුඩයෙන් ගසා පිහිණිය යුතු වෙයි. ගොඩයා කොළඹට පැමිණිය යුත්තේ, බිම් වාසිය නැතිව බව යටදී කීවෙමි. 
                                   ‘සරම් අමුඩෙන් මහවැලිය    පීනා,‘
එහෙයින්, ගොඩයා සරම් අමුඩෙන් පිහිණන්නට දක්ෂයෙක් බව දැක්ක පසුවයි පමණක් කොළඹ ඒමට පාරවත් කියන්නේ.
නමුත් ගොඩයා දීනයකු හෝ වහල් මානසිකත්වයෙන් යුක්ත එකෙක් නොවන්නේය. වෙනකෙක් විසින් විවර කර දුන් හෝ පාදා දුන් මගෙහි ඔවුන්ට ආව තේව කරමින් බඩගාණා ගෝතයෙකුද නොවෙයි. එහෙයින් ගොඩයාට තමන්ගේ මග තමන් විසින්ම පාදා ගත යුතුව ඇත. කොතරම් වෙහෙසකාරී පීඩනකාරී එකක් වුවත් ගොඩයා ඒ වෙනුවෙන් වෙහෙසෙයි. එක එකා ගොස් පරළු වී ගිය මගෙයි නොයන්න යැයි අපේ සීයා අපේ අප්පච්චීට කියා ඇත. අපේ අප්පච්චී මටද එසේම කීවේය.
                                 ‘සුද්ද විදු ගල හිතල මග     ඇරියා,
                                  වනය පාදා අපි පාරකුත්   කැපුවා,‘
අනෙකාට වඩා වෙනස් වන තරමටයි, කොළඹ පැවැත්මක් ඇත්තේ. අනෙකා නොගත් මග නොයා වෙනස් වූ අනන්‍ය මගක යාමෙන්මයි ගොඩයාට කොළඹ පැවැත්මක් ඇත්තේ.
ගංගා නිම්න ශිෂ්ඨාචාරයේ මී-මුණුපුරන් නොවෙමු. එහෙයි ශිෂ්ඨාචාරයේ මී-මුණුපුරන් සේ මී-හරකුන්ද නොවෙමු. අපේ ජීවිතේ සියල්ල රදා පවතින්නේ, ජලය සමගයි. එහෙයින්, කණ-බොන-සහ සංස්කෘතික සියලු කාරණා වලදී අපට ජලය සමග ඇත්තේ, ඉතාම ලග නෑදෑ කමකි. එහෙයින්, ගොඩේ සිට කොළඹ නොව, මොන දීපංකරේ ගියත් අපිට ජලය සමග මහා ලග නෑදෑකමක් ඇත. අප ඒ නෑදෑ කම අඛණ්ඩව හා අවිචින්නව පවත්වාගෙන යාමේ මහා විශෘල අරගලයක්ද කරයි.
                                  ‘කැළණි ගග ලග දවල්ට      කෑවා,‘
යළිදු කියමි, ගොඩයාගේ පැවැත්ම තීරණය වන්නේ දිගින් දිගටම ගොඩයා විසින් දක්වන කුසලතා මතයි. එහෙයින් ‘සරම් අමුඩෙන් කැලණියත් පීනා‘ කොළඹට ගොඩ බැසීමට සිදු වෙයි.
                                  ‘ගෝඩේ ඉදලා කොළඹ       ආවා...‘
අප ගොඩයන් ලෙස කොළඹට හෝ නගරයට පැමිණියම මහා සිහිනයක් කොටගෙන සිටිමු. එහෙයින්, අප කොළඹට පැමිණෙන විට, ගොඩබහින විට, ඇත්තේ ජීවිතය ජය ගත්තාක් වැනි හැගීමකි. නමුත්, කොළඹ පැමිණීම, ගොඩ බැසීම පමණක්ම කොළඹයකු වීමේ හෝ නාගරිකයෙකු වීමේ පූර්ව පරීක්ෂණය සමත් නොවන්නේය.

                                 ‘තවත් කළ දේ - පහුවෙලයි මතක්    වූයේ,
                                නුවර ටවුමෙදි - දළදාත්               වැන්දේ,
                                කොළඹ ඇවිදින් - කැලණියත්     වැන්දේ,
                                අලුත් නුවරදි - පඩුරකුත්               දැම්මේ...“
අප ගොඩයන් ලෙස කොළඹ ගෙනෙනා පරම සම්පත මෙයයි. ඒ නම් සංස්කෘතිකත්වයයි. ගෙදරින් මග පෙර ලකුණූ බලා එළියට බැසීමේ සිට, මග දිගට හම්බෙන පන්සල්-පල්ලි-කෝවිල් හැම එකකදීම පස්ස උස්සමින්, වදිමින් පඩුරු දමමින් මල් වට්ටි පුදමින් සිටීම අපේ සංස්කෘතික පුරුද්දයි.
කොළඹුන් මෙසේ සිතයි. කොළඹුන්ගේ සංස්කෘතික පැවැත්ම වෙනුවෙන් ගොඩයන් විසින් සංස්කෘතිය ආරක්ෂා කළ යුතු වෙයි. කොළඹුන් විසින් කාබාසියානු කරනු ලබන සංස්කෘතිය යළි පෝෂණය කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ‘කඩේ යාමේ හා පැච් වර්ක්‘ වැඩේ ගොඩයන්ට පැවරී ඇතැයි සිතයි. නමුත්, කියමි. කොළඹුන්ට ආතල් ගැනීමට හෝ කොළඹුන්ට ට්‍රිප් යාමට නොව, ජාතියක හා හරපද්ධතියක පැවැත්ම වෙනුවෙන් ගොඩයන් වූ අප සංස්කෘතිය ආරක්ෂා කරමු. ඒ අපේ පැවැත්ම වෙනුවෙනි.
කොළඹදී ගොඩයා පරාජය කිරීම හෝ ගොඩයා විනාශ කිරීම පහසු කාර්යයක් නොවන්නේ, සරලවම කියන්නේ නම් - වෙල නියරෙ පහරා, වක්කඩෙන් හෝදගෙන-තැඹිලි වල්ල කරේ තියාගෙන කොන්දොස්තරට සර් කියල කොළඹ ආපු නිසා.
අපි කොළඹ වීමේ බිම්වාසිය හිමි කරගත්තෝ නොවූයෙමු. අපේ පියවරුන්ගේ පියවරුවත් එසේ නොවූයේය. කවදාවත් ඉස්කෝලෙ යනකොට සෙරෙප්පු දාගෙන ගියෙ නැති තාත්තෙක්ගෙ පුතෙක්, තමන්ගේ දරුවන් කොළඹ අතික්‍රමණය කිරීම පිණිස දිරි දෙමින්-සවි ගන්වමින් සිටියි...
ගොඩයා විසින් කොළඹ-නගරය මුළුමණින්ම අතික්‍රමණය කරනවා නියතයි. එදාට පමණක් කොළඹ ද සංස්කෘතික වනු ඇත. සිව් වෙනි පරම්පරාවේ ගොඩයන් වූ අප ඒ වෙනුවෙන් දර-දිය අදිමින් කැපවෙමින් සිටිමු.

2 comments:

Thivanka said...

sahodaraya, ube prayathnaya agaya karami. bhashava maru. eth mama uba hithana vidihata kemethi nehe. me vede digatama karagena palayan. ubata jaya !!!!!!

Anonymous said...

අයියේ ඔයාට මතකද අපේ පිරිත් දවසේ රෑ ඔයා කිව්ව "අපි වක්කඩෙන් _ _ හෝදල තැඹිලි වල්ල කරේ තියන් කොන්දට සර් කියල කොළඹ ආවේ" කියල....ඇත්තටම ඔයා කියපු ඒ කථාව මම හොදට තේරුම් ගත්තේ අදයි...ඉස්සරහටත් ඔය වගේ ලියන්න...