Sunday, May 22, 2011

මේකද මේ ජයන්තිය?

සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබූ පසුගිය සතියේ බදාදා-වෙසක් දිනට පසුදා මා සහ මගේ බෝඩිං සගයන් කිහිපදෙනෙක් “වෙසක් බැලීම“ට කොළඹ ගියෙමු. නමුත්, බෞද්ධාලෝක මාවත හෝ ගංගාරාමට පැත්ත පළාතේවත් කිට්ටු විය නොහැකි විය. පසුව, දන්නා දහං ගැට දමා අතුරු පාරවල් හා වීදි ඔස්සේ රිංගාගෙන ගොස් ජාතික කෞතුකාගාරය ලගට පැමිණියේ කේම්බ්‍රිජ් ටෙරස් හරහායි. පාර පුරා වාහන ය. යතුරු පැදියකට යාන්තම් රිංගාගත හැකි ඉඩක් ලද සැණින් එතැන් රිංගා ගැනීමට යතුරුපැදිකරැවන් දහයක්-පහළොවක් පමණ පොර කයි. කෙසේ හෝ අස්සෙන් දමාගෙන ගොස් මරියාකඩේ හරහා මරදානෙන් මතු වුණෙමු. ඒ අතර වාරයේ දෙපස ඇති වෙසක් කූඩු - දන්සැල් - තොරණ ආදිය දැක බලා සතුටු වූයෙමු. ඇතැමෙක් එකිනෙකට අනෙකා සන්සන්ධනය කළේය.
මගේ තාවකාලික ගමනාන්තය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පුංචි බොරැල්ලේ පිහිටි පිරිමි නේවාසිකාගාරයයි. මගේ විචාරශීලී ගමන් සගයා මුණ ගැසීම අරමුණයි. මගේ බයිසිකලය නේවාසිකාගාරය තුලට දමා මා සහ මා සමග ගිය මිතුරා තට්ටු තුනකින් යුත් ගොඩනැගිල්ලේ තුන්වන තට්ටුවට නැග කොරිඩෝව දිගේ ඇවිද ගෙන ගියෙමු. ගමන් සගයා මා පිළිගනු පිණිස එහි සූදානමින් විය.
පළමු කතා බහ, ආ ගිය තොරතුරු ගැනයි. දෙවනුව ඉදිරියේ පැමිණෙන විභාග ගොන්නක් පිළිබදවයි. මේ අතරවාරයේ එහි සිටි තවත් එකෙකු අපට එක් විය. ඉන් පසු අප කතා කළේ සම්බුද්ධත්ව ජයන්තිය ගැනයි. වෙසක් කූඩු ගැන-වෙසක් කලාප ගැන-සැනකෙලි සිරිගත් ජයන්තිය ගැනත් කථා කළෙමු.
කලක් තිස්සේ අපි පිළිවෙතින්  පෙළ ගැසුනෙමු. ඇත්ත වශයෙන්ම අපට වඩා පිළිවෙතින් පෙලගැසුණේ ඩිජිටල් ප්‍රින්ටින් බෝඩ් ය. හැම හන්දියක් ගාණේම පිළිවෙතින් පෙළගැසෙමු යන යෝජනාව සදහන්ව තිබුණත්, එය කොරන්නේ කෙසේදැයි හාන්කවිසියක් නොවීය. අප පිළිවෙතින් පෙළගැසෙනවා කියා දන්නා දේවල් කිහිපයක් ඇත. ඒ දේවල් අපි සම්බුද්ධත්ව ජයන්තිය නොවන පොදු වෙසක් පෝයකට ද ඉමහත් ගෞරවයෙන් සිදුකරනු ලබන දේ ය. වෙසක් කූඩු වෙනදාද හැදුවෙමු. මෙවරද හැදුවෙමු. බකට්-බල්බ් වැල්-වෙසක් කළාප-දන්සැල් ආදිය වෙනදා මෙන්ම මෙවරද සාමාන්‍ය පරිදි සිදු කළෙමු.
එසේම තවත් දේ ඇත. වෙසක් පෝයට සුරා සැල් හා වෙනත් විකල්ප වෙලදපොල වසා දමයි. වෙනදානම් වැඩි කලබලයක් නැතිව ඒවා වසා දමයි. තහනම් දාට විවෘතව පැවතියහොත් නියැදියක් කුදලාගෙන ගොස් නඩු දමයි. මෙවරද මේ දෙකම සිදු විය. නමුත් යම් විශේෂයක් ඇත. සුරා සැල් සතියක් වසා තමබන බවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් මාධ්‍ය හා සන්නිවේදන මාර්ග ඔස්සේ ලබා දිණි. මෙහි අරමුණු වූ සුරා සැල් වසා තැබිය යුතු බවට ඒවාහි හිමි කරුවන්ට අවධාරණය කිරීම විය හැක. නැතිනම් මෙසේද විය හැක. ‘පෝයට වහනව. ඇති තරමක් කළිං ගෙනත් තියා ගනිල්ලා‘ යන්න ද විය හැක. කෙසේ හෝ සුරාසැල් වසා තිබිණි. 
නමුත් බේබද්දන් හෝ සුරාමතින් වීදි සරන්නන්ගේ අඩුවක් නොවීය. කටගොන්නක් බීගත් ඇතැමෙක් සී පද කියමින් වෙසක් බලනවා අපට මුණ ගැසිණි. කූඩුවේ ලතාවට ඔවුහු කැරකෙති. වැනෙති. ඔළුව වනයි. මේ දසවනක් කෝලම් සියල්ල වෙසක් අස්සේ අපිට පෙණිනි. මෙයින් පෙනී යන්නේ සම්බුද්ධත්ව ජයන්තියේ තේමාව, නියමටම මොවුන් රැක ඇති බවයි. සුරා සැල් වසන නිසා කල්තබා රැස්ගොට ගෙන සිටි ඔවුන් - පිළිවෙතින් පෙළ ගැසී සිට ඇත.
 ලොරි තට්ටු වලට නැග වෙස් මුහුණු දමාගත් පිරිස් වන්දනාවේ යයි. ඔවුන්ට ඇති වින්දනය-ආතල් එක නම්, වෙස් මුහුණ දමාගෙන පොඩි ළමුන් සහ ගැහැණුන් බිය වැද්දීමයි. ඇතැමුන් කල්තබාම වෙසක් බැලීමට යාමට මේවා මිලට ගෙන පිළිවෙතින් පෙළ ගැසී සිටියා විය හැක. තවත් විටක, වෙළදුන් විසින් මේවා තොග ගාණට ගෙනැවිත් වෙළද පොලක් නිර්මාණය කිරීම පිණිස දින කිහිපයක සිටම පිළිවෙතින් පෙල ගැසී සිටි බවක් පෙණෙයි. තවත් පිරිස් වේවැල් ගෙන පාරේ යන උන්ට තඩි බායි. බෙරිහන් දෙයි. කුණුහරැප කියවයි.
නියම බැති ගීයක් ඇසිණි. ඒ පුංචි බොරැල්ලේදීය. ‘අංගම්මන සුමන‘ නම් සරැප් ගීයක් ඇත. එහි ඇත්තේ මාතෘ රමණ වර්ණනාවකි. පිළිකුල්සහගත වුවත් තාලය රිද්මයානුකූලය. ලොරි තට්ටුවක නැගී වෙසක් බැලීමට යන වන්දනා කරැවන් පිරිසක් විසින් ‘අංගම්මන සුමන‘ ගයමින් විනෝදයෙන් පාරේ යනු දෑසින් දුටිමි.
කඩේක කුස්සියට උව රිංගීමට අපට පැකිලීමක් නැත. ඕනැම තැනක රිංගාගෙන අවැසි දේ සොයා ගැනීම වෘත්තිය වගකීමකි. මේ එවැන්ක් නොවේ. තවත් පැත්තකින් පිළිවෙතින් පෙළගැසුණු අයුරක් ගැන කතාවකි. අපි කෝපි දන්සැලක නැවැත්වූයෙමු. ටිකක් වේලා කෝපි බෙදීමටද උදව් වූයෙමු. අපට එහිදී එහි සංවිධායකයින් කිහිපදෙනෙක් ද හදුනාගත හැකි විය. දන්සැලේ වෑන් රථයක් නැවැත්වීය. නාඹර වයසේ යෞවනියන් කිහිපදෙනෙක් එහි විය. කෝපි කෝප්පය බැගින් දුන් සංවිධායක මණ්ඩලයේ තරුණයෙක් කොළ කැබලි දෙක-තුනක් බලහත්කාරයෙන්ම වෑන් රථයේ වූ යෞවනියකගේ ඔඩොක්කුවට ජනේලයෙන් විසිකරනු දැක්කෙමු. ‘මොනවද බං‘ යැයි ඇසූ විට ‘පෝන් නොම්බරේ‘ කීවේය. කල්තබාම ලිපින හා දුරකථන අංක ලියාගෙන පිළිවෙතින් පෙළ ගැසී සිටි අපූරුව එයයි.
මේ විකාර සියල්ල දැක අපි යළිත් හොස්ටල් එකට පැමිණ කතා කරමින් සිටින විට, ‘මේකටද බං සම්බුද්ධත්ව ජයන්තිය කියන්නෙ‘ කියා පසුව අපට එක් වූ සගයා ඇසීය.
ඇත්ත වශයෙන්ම සම්බුද්ධත්ව ජයන්තිය යනු මෙයම ද. නැත්නම් වෙනත් එකක් ද. එසේද නැත්නම් මෙය ද  නොවන වෙනකක් ද නොවන එකක්ද. මා සම්බුද්ධත්ව ජයන්තිය කියවනු ලබන්නේ මෙයද නොවන වෙනකක්ද නොවන එකක් ලෙසයි. 
අප බෞද්ධ කෞතුකාගාර - විහාර - ‍චෛත්‍ය ආදිය සාදමින් ඉදිකරමින් විවෘත කරමින් භෞතිකමය ස්මරණයක යෙදුණෙමු. ඒවා භෞතික යැයි කියනු ලබන්නේ, ඒවාහි පරමාර්ථය වන්නේ අලුතින් සවි කරන ලද බෝඩ් ලෑල්ලක් පමණක් ඇති පැරණි බඩු-භාණ්ඩ හා ආකෘතීන් ඇති බිත්තියේ සායම් වෙනස් වර්ණයකින් ඔප ගැන්වූ සංස්ථාවක් අභිනවයෙන් කියා පැරණි දේ ප්‍රති-අභිනවයෙන් විවෘත කිරීමයි. වෙනදා නැති සිරියක් දැන් ඇත. වෙනදා නැති වටිනාකමක් දැන් පැරණි කෞතුකාගාරයට ඇත. ඒ මන්ද යත් එය සම්බුද්ධත්ව ජයන්ති කෞතුකාගාරය වීම නිසායි. 
වෙනදාට ජාතික වෙසක් කලාපය යැයි කියනු ලබන තැන, මෙවර සම්බුද්ධත්ව ජයන්ති වෙසක් කලාපයයි. වෙනදා මෙන්ම පෙර වසරට සාපේක්ෂව වෙනස් නිර්මාණ මෙවරත් ඇත. මේ තත්ත්වය 2009 ට සාපේක්ෂව 2010 දීත් පැවතිණි. නමුත්, ආමිසමය වශයෙන් මානසික අල්ලසක් දෙනු ලැබූ පසු භක්තිය හා ශ්‍රද්ධාව වැඩි දියුණු වෙයි. එමගින් වෙනදා නැති ශ්‍රද්ධාවක් හා කැපවීමක් වෙසක් වෙනුවෙන් දරයි. වෙසක් යනු විශේෂිත සිද්ධියක් බවට පත් කර ගනියි.
දැන්, සම්බුද්ධත්ව ජයන්තිය හා සම්බන්ධ මීඩියා හැසිරීම දෙස බලමු. අප පිළිවෙතින් පෙල ගැසිය යුත්තේ ප්‍රතිපත්තිමය පූජා වැඩි වශයෙන් කෙරෙන, ඒ වෙනුවෙන් වැඩි බර තැබෙන් සිද්ධීන් සමගය. නමුත්, මීඩියා හැසිරීම ඹින් වෙනස්. උදේ පාන්දරින්ම අට සිල් දී පැයක විතර ධර්ම දේශනාවක් ප්‍රචාරය කරයි. ඒකට කියන්නෙ - අට සිලුයි පැයේ බණයි ගහනව - කියල. බණ අවසන් වී සාදු කියන්නටත් කළින්, සම්බුද්ධත්ව ජයන්තිය ඉන්පලුවන්ස් කිරීමට ඇඩ්ය් දමයි. එකක මෙසේ ඇත. බැති පණිවිඩයක් රුපියල් දෙකයි. තවකෙක ගාථාව සත පණහයි. තවත් හිමි නමක්, උන්වහන්සේ ලියූ කවි විනාඩියට රුපියල් ගණනින් විකුණයි. වෙසක් බලන්න ගමේ සීයා කොලඹ එන්නේ රට පැණි බීම අරගෙනය. සීයලා මුල් බැදගෙන කැලෑ ගෙඩි කඩාගෙන ආපු කාලෙ සම්බුද්ධත්වයෙන් 2600 අවුරැද්දක් ගෙවෙනකොට අහවර වී ඇත. 
යළිත් පැයක විතර බණක් ප්‍රචාරය කොට සවස් වන තුරු අමාරුවෙන් දුවා ගිනියි. නිකිණි -බිනර වැනි පෝය පාඩුවට දුවන මීඩියා වෙසක්-පොසොන් වලින් ඒ පාඩුව කවර් කරගැනීමට වෙර දරයි. ඒ අනුව, ඇඩ්ස් මැද්දට බණ එන එක මහා කරදරයකි. 
රාත්‍රීය ගෙවී පසුදා පහන් වන විට ප්‍රතිපත්ති පූජා අවසන්. මේ කලාපෙ අපේ-නෑ මේක අපේ-මේ අපේ කලාපෙ කියමින් වෙසක් කලාප වලට පොර කති. බණක් ගැන හැන්කවිසියක් සිහි නොවන, නොකරන මීඩියා-තොරණ කූඩු හොයමින් පෙන්වයි. හොදම දේ කරන්නේ ඉන් පසුවයි. සිකුරාදා හෝ සෙනසුරාදා විකාශය වන දේශපාලන ඕප-දූප වැඩසටහන සදහා වෙසක් සිල් හරි රසැති මාතෘකාවකි. ඇමති දසසිල් ගත්ත හැටි-විපක්ෂ නායක සිල් ගත්තෙ නැත්තෙ ඇයි-කරු විතරලු සිල් ගත්තෙ-දන්සැලේ සම්මාදන් කොලෙන් සජිත්ගෙ නම කපන්න රවී ලක්ෂයක් දෙන්නම් කීවලු. මේ මීඩියා වෙසක් ගෙවා දමන උජාරුවයි.
අප සම්බුද්ධත්ව ජයන්තියේදී හා ඒ වෙනුවෙන් කළ කී දේ ප්‍රමාණවත් දැයි හැරී බලා නිවැරදි කරගැනීමට තවමත් ප්‍රමාද නැත. මන්ද, මේ සම්බද්ධත්ව ජයන්තියේ වර්ෂයයි. අප වසර ගණනක් තිස්සේ පිළිවෙතින් පෙළගැසෙමින් සිටියේ මෙවන් ගොඩනැගිලිවාදී-ප්‍රදර්ශනවාදී-භෞතිකවාදී-සැනකෙළිවාදී සම්බුද්ධත්ව ජයන්තියක් වෙනුවෙන්ද. ඇත්ත වශයෙන්ම අපි පිළිවෙතින් පෙළ ගැසීමුද. ඇත්තටම, සම්බුද්ධත්ව ජයන්තිය යනු මෙයද?

4 comments:

Hashker Shaheen said...

i do not comment anything....(Therum ganna) bt all you said was true. Good job.

Raiz Meyen said...

ඔයා හරි මල්ලි, කට්‌ටිය පිලිවෙතින් පෙල ගැසුනේ මේවට තමා. ඔය බහුතරයක්‌ දන්නේ නැ මෙක 2600 නෙමෙයි 2555 කියලා. 2600 ට පිලිවෙතින් අවුරුදු 45ක්‌ පෙල ගැසෙමු කියලයි තියෙන්නෙ කියන එක. ඔක්‌කොමල මහා රජාට ඔන ව්දිහට සම්බුද්දත්ව ජයන්තියත් අවුරුදු 45ක්‌ ඉදිරියට ගෙනවා.....

Anonymous said...

@Raiz Meyen... wt u said is wrong. it is 2600 yrs after lord budda ws enlightened. 2555 is yrs after lord budda's parinirwana.

Samitha said...

අපි කොචිචර කිවිවත් ලිවිවත් දැන් මිනිස්සුන්ගේ මොල හදන්න බෑ. ඒ තරම‍ටම පේන දේ ගැන විතරක් බලල සන්තෝස වෙන තරම‍ට මිනිස්සු පහත‍ට වැටිල.
කොහොම උනත් මෙහෙම හරි ඇත්ත කතා කරන කෙනෙක් ඉන්න එක ලොකු දෙයක්.දිගටම යමු මල්ලී........