Monday, May 23, 2011

රනිල්ට එරෙහි විය යුතුද?

එ.ජා.ප.ය දැඩි වියවුලකට ලක්ව ඇත. මෙයට හේතු තීපයකි. ප්‍රධාන වන්නේ, එකම එක වරක් හැර අන් සියලුම අවස්ථාවන්හීදී මැතිවරණය පරාජයට පත් වූ නායකයෙකු විසින් පක්ෂය මෙහෙයවීමයි. අනෙක් පැත්තෙන්, සජිත් ප්‍රේමදාස නායකත්වයේ උරුමය ඉල්ලා අරගල කරයි. පක්ෂයේ ප්‍රබල හා ජනප්‍රිය යැයි කිව හැකි නායකයින් හෝ ජාතික චරිත කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙයි. එසේම, ප්‍රත්‍යන්ත ජනපදවල සිට කොළඹ මධ්‍යම පූර්ණ නාගරික වටපිටාව දක්වාම වාසය කරන එ.ජා.ප.යට ඡන්දය දී ඇති ජනතාවගේ ප්‍රමාණය සීඝ්‍රෙයන් අවපාතයට ලක් වෙමින් තිබේ. මේ සදහා හේතු-භූත වූයේ කුමක්ද?
රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන වරණ දෙක ජනතාට ඉදිරිපත් කිරීමේදී රනිල් හෝ සජිත් තම වරණය ලෙස තෝරා ගැනීමට රනිල්වාදීන්-සජිත්වාදීන් හා මධ්‍යස්ථවාදීන් කරුණු කියයි.
රනිල් වික්‍රමසිංහ හොද ඇයි?
රනිල්ට පක්ෂ කණ්ඩායම් හා පුද්ගල වශයෙන් ගත්විට මිනිසුන් රනිල්ට කැමති වීම සාධාරණීකරණය කරයි.


  • රනිල් දූරදර්ශී නායකයෙකුද / දුර දැක්මෙන් යුක්තද / විචක්ෂණශීලීද / නායකත්වයේ ලක්ෂණ ඇති අයෙක්ද?

1. ඉතිහාස අත්දැකීම් සමග අප රනිල්ගේ දූර්දර්ශී බව ප්‍රශ්න කළ යුතුව ඇත. 2010 සැප්තැම්බර් මාසයේදී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ආණ්ඩුව පාර්තිමේන්තුවේදී සම්මත කර ගත්තේය. ප්‍රශ්න කරනු ලබන්නේ උත්තරීතර ව්‍යවස්ථාව හෝ එහි සංශෝදනයේ හරයන් නොව. අදාල සිද්ධියේදී වික්‍රමසිංහ භූමිකාවයි. විපක්ෂය 18 ට විරුද්ධ විය. එහි හරයන් ප්‍රශ්න කළේය. ජ.වි.පෙ. හා වමේ ඇතැම්හු ප්‍රසිද්ධියේ 18 ට එරෙහිව අරගල කලහ. එ.ජා.ප.ය මෙම අවුලේදී ගන්නා ස්ථාවරය කවරේදැයි අප බලා සිටියෙමු. නමුත් ඔවුනගේ ප්‍රතිපත්තිය වූයේ දියාරු බවකි. නමුත්, දයාසිරි වැන්නවුන් 18ට විරුද්ධව යම් හඩක් නැගීය. රනිල් විසින් 18ට දක්වන ප්‍රතිචාර විසින් රට පුරා 18 ගැන පැවති ආකල්පය හැදිගෑවී ගියේය. රනිල් මහින්ද සමග තේ බී 18 ගැන සාකච්ඡා කොට සිනාසෙමින් එළියට ආවේය. මෙමගින් 18 පිළිබද සමාජ කතිකාව දෙදරූ අතර එ.ජා.ප.යේ නිල සහාය 18 වෙත ලබා දුන්නාක් වැනි විය. රනිල් දූර්දර්ශී නම් රනිල් 18 වෙනුවෙන් විරුද්ධ විය යුතුව තිබුණාද? විරුද්ධ වීම කෙසේ වෙතත් එකග වීමක් කිසිසේත් කළ යුතු නොවූයේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලය වූයේ රනිල්ගේ දියාරු බව සනාථ වී ප්‍රත්‍යක්ෂ වීම හා පබා, මනූෂ හා කාදර් සමග සිව් දෙනෙක් පක්ෂය මූලධර්මවලට පාන්ස කූලය දී වෙනත් අතක් බලා ගැනීමයි. මෙමගින් මා රනිල්ගේ දූරදර්ශී බව ප්‍රශ්න කිරීමට ලක් කරමි.

2. 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්තිමේන්තුවේ කියවන විට රනිල් නිදා ගත්තේය. ගෝලයින් ගිණිකෙළි-සැණකෙළි පැවැත්වීය. රනිල්ට අවශ්‍ය වූයේ මල් වට්ටියක් උඩ තබා ඉක්මනින්ම ලබා ගන්නා රාජ්‍ය නායකකමකි. යෝජිත 2000 ව්‍යවස්ථාව අනුව අදහස වූයේ දැනට ධුරය දරන ජනාධිපතිවරයා ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා වන අතර ඉන් පසු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විධායක බලතල පිරිණැමේ. රනිල් දූර්දර්ශී වූයේ නම් අවුරුදු 5ක් ඉවසීමට හැකි විය යුතුය. ජේ.ආර්. ඉවසුවේ 1947 සිටයි. අවසාන වශයෙන් 1959 සිටයි. නමුත්, රනිල් විසින් අගමැති කම විධායකයේ ප්‍රධානියා වීමට තිබූ අවස්ථාව ලබා ගැනීමට තරම් දුර දැක්මකින් යුත් නායකයෙක් නොවීය. චන්ද්‍රිකා රනිල්ට භාර දී 2005 දී යාමට 2000 වන විට අදහසක් තිබ්බා විය හැක. නමුත්, ඊට අවශ්‍ය දේ රනිල් විසින් ඉටු කරනු නොලැබීය. රනිල්ගේ දුර දැක්ම ප්‍රශ්න කරමි. ජේ.ආර්.ජයවර්ධන පක්ෂයෙන් හා ආණ්ඩුවෙන් යන දෙකෙන්ම පැමිණි බාධා හා කෙණෙහෙලිකම් ඉදිරියේ නොබියව සිටියේය. පක්ෂය තුළ කිසි විටෙක අසමත් ඉදිරි පෙල සාමාජිකයෙක් නොවීය. සෑම දෙයක් සම්බන්ධයෙන්ම-සියලු දෙනාම ජේ.ආර්. වීශ්වාස කළේය. නමුත්, පක්ෂයේ නායකයා ලෙස හෝ රනිල්ගේ ඉදිරි දැක්ම ගැන පක්ෂයේ බොහෝ දෙනෙකුට විශ්වාසයක් ඇත්ද.

3. 2001 දී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ජේ.සී.වැලිඅමුණ නීතීඥවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සූදානම් විය. චෝදනා 65 ක් එහි විය. උපරිමාධිකරණ විනිසුරුවන් ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාෙවන් 1/2 කට වැඩි ඡන්ද ප්‍රමාණවත් වෙයි. මේ සදහා පෙරමුණ ගන්නයැයි 2001දී රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් රනිල් වික්‍රමසිංහට යෝජනා කළේය. ඒ වන විට රනිල්ට යමක් කරගත හැකි තත්ත්වයකද ඔහු සිටියේය. නමුත් රනිල්ට අවශ්‍ය වූයේ දෝෂාභියෝගය ගෙනෙනවාට වඩා නොගෙන ඒමටයි. රනිල්ගේ දියාරු බව දැක වික්ටර්, රනිල් වික්‍රමසිංහට මෙසේ කියා ඇත. ‘ඔබටනම් කවදාවත් රාජ්‍ය නායකය වෙන්න බෑ‘. (පෑණ අහිංසකද / වික්ටර් අයිවන්) යළිදු කිව යුතුව ඇත්තේ, රනිල් මහන්සි වී දුක් විදිමින් නායකත්වය ගැනීම පිණිස සටන් කරනු අකමැති අලස නායකයෙකි. කවුරුන් හෝ රිදී බන්දේසියක තියා දෙන තුරු විරවාගෙන සිටියි. ලෝක නායකයින් රජ වූයේ දුක් මහන්සියෙනි. ඒබ්‍රහම් ලින්කන් මෙසේ කියයි-“මා වහලෙකු නොවූයේ නම්, මා කිසිදා රජ නොවනු ඇත‘ (නොහදුනන ලින්කන් චරිතාපදානය).

4. 2001 දෙසැම්බර් පිහිට වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට වසරක් පිරෙන විට චන්ද්‍රිකා විසින් පාර්ලිමේන්තුව කලින් විසිරිය හැකි බවට සැකයක් ඇති විය. නමුත්, චන්ද්‍රිකා විසින් නිසි කලට පෙර පාර්ලිමේන්ත්‍රව විසුරුවන්නේ නැතැයි සංදේශයක් එවා, ඉන් දින කීපයක් තුල පාර්ලිමේන්තුව විසිරීය. රනිල් දැඩි ලෙස චන්ද්‍රිකා විශ්වාස කළේය. රනිල්ට දේශපාලනික අනෙකා තේරුම් ගැනීමට තරම් දැක්මක් නොවිණි යැයි මා තර්ක කරමි. රනිල් දේශපාලනික අනෙකාට රැවටෙයි. එදා චන්ද්‍රිකාට පසුව ෆොප්සේකට. දැන් මහින්දට යනාදී වශයෙනි.

5. රනිල් දැන් දැන් පක්ෂයේ තනතුරු සදහා කිසිදු ඉවක් බවක් නැතිව මිනිසුන් පත් කරන බවක් පෙණෙයි. මෙහීදී රනිල් සලකනු ලබන එකම සාධකය රනිල්ට පක්ෂපාත මිනිසෙක් ද නැත්ද යන්නයි. ජාතික සංවිධායක ලෙස රවී කරුණානායක පත් තළේය. පක්ෂයක ජාතික සංවිධායකගේ වගකීම කවරේද. ජාතික යනු නගරබද පමණද. රවී ජාතික සංවිධායක කොට සජිත් උප නායකයා කළ්ය. උප නායකයෙකු නියෝජ්‍ය නායකයෙකුට එ.ජා.ප.යේ කළ හැකි එකම දේ නම් කෘත්‍යාධිකාරී රැස්වීමක ඉදිරිපෙළ අසුන් ගැනීම පමණයි. ජාතික සංවිධායකට ඊට වඩා යමක් කළ හැකිය. කළ යුතුව ඇත. ගම්-මට්ටම හා බ්ම්-මට්ටම ගැන කතා කරන සජිත් ජාතික සංවිධායක කරන්නට තිබුණේ යැයි මගේ පුද්ගලික හැගීමයි. කිසිදු දෙයක් කළ නොහැකි රංජිත් මද්දුම බණ්ඩාර වැන්නෙකු වෙනුවට රවී වැන්නකු නම් වඩා යෝග්‍ය වෙයි. රනිල් ඔළුවකින් පුරප්පාඩු පිරවූවා මිස වෙන ඵලදායී යමක් සිදු කොට නැත.

6. පොදු ජනතාව රනිල් සමග සිටින්නේද. මේ තවත් ප්‍රශ්නයක්. ඒ කතාව මෙසේ පැහැදිලි කරමි. ‘දුවන්න බැරි අස්සයෙකුගෙන් ඇති වැඩේ මොකද්ද?‘ එක්කො දුවන්න පුළුවන් අස්සයෙන් ආදේශ වෙන්න ඕනෙ. නැත්තම් දුවන අස්සයෙක් පස්සෙ මිනිස්සු දුවනව. අද වන විට රනිල් වික්‍රමසිංහ දුවන්න බැරි අස්සයෙක් ලෙස සමාජ සම්මතයක් නිර්මාණය වී ඇත. එහෙයින් රනිල් වික්‍රමසිංහ වටා සීඝ්‍ර ජන රැල්ලක් එක් කිරීම අපහසු වන බව මගේ හැගීමයි. වරක් ඉතිරුණූ කිරි මුට්ටිය-යළිත් උතුරන්නට වෙර දරනවා වැනි වෙහෙසකි එය.

7. පසුගිය ඡන්ද විස්සකට ආසන්න කාලයක් එ.ජා.ප.ය පරාජයට පත් වන්නේ රනිල් නිසාද. මේ අවුල විසදීම සදහා යූ.ඇන්.පී.ය පැත්තකින් තබා සන්ධානය ඈදාගත යුතු යැයි සිතමි. 2005 සිට ඡන්ද දිනන්නේ, මහින්ද රාජපක්ෂ නිසා ද. ‘ඔව්‘. ඒ මගේ තර්කයයි. මන්දයත්, තේරීපත් වූ සියලු දෙනා මෙන්ම සන්ධානයට එක් වූ සියලු දෙනා කියනු ලබන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිලිවෙල ශක්තිමත් කිරීම පිණිස ලැබුණු දායකත්වයක් කියන එක. එනම්, හැමෝම ඡන්දෙ දෙන්නෙ මහින්දට. මහින්ද වෙනුවෙන් ඡන්දය දෙනවානම්, අනෙක් පැත්තට ඡන්දය නොවැටෙන්නේ අනෙක් නායකයින් නිසාය. එ.ජා.ප.ය රනිල් නිසාත්, ජේ.වී.පී.ය සෝමවංශ සහෝදරයා නිසාත් පරාජයට පත් වෙයි. එසේ කියන්නේ ඇයි. අද වන විට ලංකාවේ මන්ර්‍තී ආසන 160න් වැඩි ගණනකම සිටින්නේ රනිල්ගේ ආසන සංවිධායකයින්ය. සියලු ලොකු පුටු රනිල්ගේ මිනිසුන් විසින් උසුලයි. එහෙයින්, ඔවුන් ප්‍රතික්ෂේප වනවා යනු රනිල් ද-රනිල් ප්‍රතික්ෂේප වනවා යනු ඔවුන්ද යන වශයෙන් දෙපාර්ශවයම පරාජයට හා ප්‍රතික්ෂේපයට ලක් වෙයි.

එය එසේනම්, උක්ත සිද්ධි අධ්‍යයනයෙන් පසු ද අප රනිල් වික්‍රමසිංහට එරෙහි විය යුතු ද?

No comments: