Saturday, May 21, 2011

බිත්ති පුරා ‘චේ‘. ඇයි මේ?


කලකට පසු මගේ පැරණි මිතුරෙක් මගේ බෝඩිං කාමරයට පැමිණියේය. ඔහු දැන කොළඹ විශ්ව විද්‍යාලයේ කලා  උපාධි අපේක්ෂකයෙක් වන අතර අතුරු අදායම් මාර්ගයක් ලෙස අධ්‍යාපනය මිල කරයි. දේශපාලන විද්‍යා පංති පවත්වයි.
මගේ සහ ඔහුගේ මිත්‍රත්වය ගොඩනැගෙන්නේ මින් වසර හතරකට පෙර ස්වර්ණවාහිණී රූපවාහිනීයේදීය. අප දෙදෙනාගේ මිත්‍රත්වය පෝෂණය වීම පිණිස කරනු කීපයක් බලපෑවේය. එකක් ඔහු සහ මා යන දෙදෙනාම “ගොඩයෝ“ වීමයි. අනෙක අප දෙදෙනාගේ ඒ වන විට සිහිනය ඌයේ ‘ටෙලිවිෂන් කාරයෙක්‘ වීමයි. එහෙමත් නැතතම්, ‘රේඩියෝ කාරයෙක්‘ වීමයි. අප සිහිනය පිටුපස හඹා යමින් සිහිනය යථාර්ථයක් කරනු පිණිස පුහුණු සන්නිවේදකයින් ලෙසින් දිනපතා ගෙදරින් බැදගත් බත්මුලත් රැගෙන දිනපතා නේවාසිකාගාර වල සිට කොල්ලුපිටියට බඩ ගෑවෙමු. පසුව, මා වෘත්තීය රේඩියෝ කාරයෙක් ලෙස පුද්ගලික ගුවන් විදුලි නාලිකාවකට එක් වුණෙමි. ඔහු ස්වර්ණ සිහිනය සදාකාලිකව අත් හැර දමා ගමේ ගියේය. මගේ පළමුවර උසස් පෙළ ගණිත අංශයේ ප්‍රතිඵල පැමිණියේ ඉන් දින කිහිපයකට පසුවයි. මා විෂයන් තුනම අසමත් වූ අතර මගේ ‘ගොඩේ‘ මිතුරා විෂයන් තුන සදහාම ඒ සාමාර්ථ ලබා සිටියේය. මා වහාම කලා විෂයන් තෝරා ගෙන උසස් පෙළ යළි ලීවෙමි. උපුල් ශාන්ත සන්නස්ගල මගේ සිංහල ගුරුවරයා වූ අතර අනෙක් කිසිදු විෂයකට මට හරිහමං ඇදුරෙක් නොවීය. නමුත්, අවසාන දෙමාසයේ මා සේවා නිවාඩුවක් ලබා ගෙදරට වී අරගලයේ ස්වර්ණමය සමය දියත් කෙරුවෙමි. මගේ සන්නද්ධ සගයා වූයේ පෙරකී මිතුරායි. ඔහු මා ආටෙක් වීමෙන් පසු මගේ නැවේ කප්පිතිකම මට ඉගැන්වීය. මා උසස් පෙළ සමත් වීමි. දැන් ඇත්ත වශයෙන්ම ඇතැම් විට, මා ද මා උගත් දේ මිල කරමින් සිටිමි.
ඔහු සහ මා ලෝකය කියැවීමත් සම්බුද්ධි කලම්බනයේත් නිරන්තරයෙන් නිරත වන අතර දේශපාලනය කියවන්නේ උස් හඩිනි. ඒ මා විටෙක ලිබරල්වාදියෙක්ද විටෙක සමාජවාදියෙක්ද වීම නිසාත් ඔහු විටෙක සමාජවාදියෙක්ද විටෙක සංධානකාරයෙකු වීමත් නිසා වීමට වඩා අප දෙදෙනා සතුව එකිනෙකා පෝෂණය කරගැනීමට සමත් දැනුමක් හා උත්සාහයක් ඇති නිසායි. අප තවමත් තමා සහ එකිනෙකා වෙනුවෙන් කියැවීම අඛණ්ඩව සිදු කරමු. 
මගේ මිතුරා මගේ කාමරයට පැමිණියේ දෑස් විදහාගෙනයි. ඔහු එක්වනම මගේ බිත්ති දෙස බලාගෙන සිටිනු මා දුටුවෙමි. දොර ඇරන් ඇතුලට එත්ම ඇත්තේ තරැණයා පත්තරෙන් ලද තෑග්ගකි. ඒ ආදරණීය චේ ගෙවාරාගේ පින්තූරයකි. මගේ ඇදට ඉහලින් චේ ගේ විශාල පින්තූරයකි. Hasta La Victoria Siempre යනුවෙන් එහි වෙයි. මා පාඩම් කරන මේසයට ඉහළින් කලු පැහැ පසුබිමක සුරුට්ටුවක් උරමින් සිටින චේ ය. මා මගේ දින කැලැන්ඩලය ලෙස භාවිතා කරනු පිණිස එල්ලාගෙන සිටින්නේ චේ ගේ විවිධ ඉරියව් වල ඡායාරූප ඇතුලත් කැලැන්ඩරයකි. තවත් තැන තැන චේ ගේ රුව සහිත දේය. මගේ මිතුරා මා ප්‍රශ්න කළේය. ‘ඇයි බං මේ හැමතැනම මේ චේ ගුවේරගෙ පින්තූර. උඹ දැන් ඒ පාර ජේ.වී.පී. කරනවද‘. ම විසින් චේ කියවනු ලබන්නේ සහ විමසනු ලබන්නේ ඇයි දැයි යන පැනය සමගම ඔහු විසින් ඔහුට සාපේක්ෂ පූර්ව නිගමනයක්ද ඉදිරිපත් කළේය. 
චේ යනු ජේ.වී.පීත කෙරුවාවේ හෝ ඔහුන්ගේ දේශපාලනය වැද නමස්කාර කිරීමේ පරම ප්‍රකාශිත සංඛේතය බව අදද ඇතැමුන් විශ්වාස කරයි. මේ පූර්ව නිගමනයන්ට යම් සාධාරණ හේතුවක් ඇත. ඒ, අද වන විට චේ යනු  ප්‍රතිපත්තිමය හෝ ආටෝපමය සමාජවාදයේ ආටෝපමය ප්‍රකාශනය වී ඇති නිසයි. ඒ අනුව, චේ යනු ජේ.වී.පී. කාරයෙක්ය.
මා වෙත දැන් පිළිතුරු දීමේ අයිතියක් යටකී ප්‍රශ්නය විසින් ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත්තා සේම එය මගේ වගකීමකි. තවත් පැත්තකින්, චේ ගැන මා කියවා ඇති දේ තවකෙකුගේ පරිහරණය පිණිස දිගහැරීමට කාලයයි. එය ඇත්ත වශයෙන්ම, චේ කියැවීමට-චේ පිළිබද තෙලක් බෙදීමට මා ලද Power-play එකකි. 
‘ඉස්සරල ඉද ගනින්. දැන් අහගනින්‘ යැයි පළමුව මා ඔහු වෙත මා අත වූ කරාමයෙන් ගත් වතුර ඇති බෝතලය ඔහු අත තැබීය. ‘ප්‍රශ්න තියනවනම් අහපං. ඕනෙම එකක්.‘ යැයි මා කතාව ඇරඹීමි. මෙතැන් සිට ‍දෙබස් අවශ්‍ය නොවේ යැයි මා විශ්වාස කරමි. මගේ කාමරය පුරා චේ ලැගුම් ගෙන සිටීමටත් අපේ කාමරය තුල චේ ට යම් වැදගත් බුහුමණක් ලැබීමට හේතු වූ කරුණු මා මට සාපේක්ෂව කියමි.
චේ යනු ආජන්ටිනාවේ තත් කාලීනව යමක් කමක් තිබූ පවුලක උපන්නෙකි. ඔහුට කන්නට-බොන්නට දෙන්නට සේම පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා දෙන්නට තරම් වත්කමක් ඔහුගේ පවුල සතු වීය. පසුව, ඔහු වෛද්‍යවරයෙක් වීමේ අරමුණෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල්ව එහි වසර කිහිපයක් අති සාර්ථක ලෙස ගෙවා දැමීය. ඔහු පසු කාලීනය උපාධිය සම්පූර්ණ කලේය. ඔහු විසින් සිය නිවාඩුවේදී ඔහුගේ මිතුරකුද සමග ලතින් ඇමරිකාවේ සංචාරයක යයි. ඒ ඔහුගේ බයිසිකලයෙනි. මේ අතර ඔහු ඇතැම් ලතින් ඇමරිකානු වැසියන් විදින දුක් ගැහැට මැනවින් දෑසින්ම හැදෑරීය. ඔහු ඒ සංසිද්ධීන්ට සංවේදී විය. කියුබාවේ ඒකාධිපති පාලනයට එරෙහිව කැරලි කරුවන් සන්නද්ධ වෙමින් සිටියි. චේ ඒකාධිපතිවාදයට එරෙහිව සිය සංකල්ප වර්ධනය කර ගැනීම පිණිස කියුබාවේ ගැමියෙක් ඔහු සමග කී යමක් හේතු කරගත්තේය. They punished us, because we are Socialist. චේ ට රාවුල් කැස්ත්‍රෝ හමුවන්නේ රාවුල්ගේත් චේ ගේත් මිතුරෙක් හරහායි. පසුව රාවුල් මගින් චේ පිදෙල් කැස්ත්‍රෝ හදුනා ගනියි. ඔහු සමග ජනතා-හිතවාදී-දේශපාලන න්‍යාය ලෙස සමාජවාදය කියැවුවේය. චේ පිදෙල් ඇතුලු පිරිස්, ඒකාධිපති වියරුවට එරෙහිව අරගලය ඇරඹීය. චේ විසින් කියුබාවේ අර්බුදයට මැදිහත් වන්නේ වෛද්‍ය වෘත්තිය පසෙකලාය. වෛද්‍යවරයා ඒ වකවානුව වන විටත් ලෙඩුන්ගේ මිල අසීමිතව මිල කළ හැකි මිනිසෙකි. එසේම, සමාජයේ සම්මානනීය තනතුරකි. චේ පොදු සමාජ අවශ්‍යතාවක් වෙනුවෙන්-හුදී ජනයා කම්පනයෙන් මුදවා ගැනීම පිණිස වෛද්‍යවරයා යන අතිමිල වටිනාකමක් තිබූ වෛද්‍ය වෘත්ති හැර දමයි. චේ ගේ පළමු ජනතා කැප කිරීම එයයි. ඔහු පොදු මිනිසා වෙනුවෙන් පුද්ගලික මිනිසා කැප කරමින් කැරැල්ලට එක් විය. දැන් සිටින ලාංකීය වෛද්‍යවරයා සමග ආජන්ටිනාවේ එකල වෛද්‍යවරයාගේ මිල වටිනාකම් සන්සන්දනය කිරීමේ වැඩි වැඩ ඔබ සතුයි.
පසුව, පිදෙල්-රාවුල් ඇතුලු චේ සම්බන්ධව සිටි කැරලිකරුවන් කියුබාවේ බලය තහවුරු කරගත් අතර, එහි නායකයා බවට පිදෙල් කැස්ත්‍රෝ පත් විය. වෛද්‍ය විෂයේ අභිවර්ධනය වෙනුවෙන් චේ ගේ යම් දායකත්වයක් පමණක් තමා වෙත ඇහිදගත් පිදෙල් විසින් කියුබානු ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම චේ ට පැවරීය. ඒ ඔහු වෙනුවෙන් වෙන්කරන ලද සම්භාවනීය රාජ්‍ය නිලයන් කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. කියුබානු ජාතික බැංකුවේ හදවත බවට චේ පත් විය. ඉතාම කෙටි කලකින් චේ කියුබානු ආර්ථිකයේ දිශානතිය තීරණය කළේය. ඉනික්බිති එය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවැසි අඩිතාලම සැකසීය. චේ ගේ තනතුර දැන් මහබැංකු අධිපති කම වැනිය. චේ විශේෂිත මිනිසෙක් බවට සාක්ෂියක් ඉනික්බිති මා කියැවූයෙමි. චේ මේ ජාතික බැංතුවේ තමන් ලද තනතුරෙන්ද ඉල්ලා අස් විය. ඔහු විරාජමාන වැජබීමට පෙම් නොකලේය. ඔහු ආදරය කළේ මිනිසුන් සමග සිට මිනිසුන් සමග හැදී වැඩීමේ ‘ගොඩේ කමට‘යි. 
චේ ඉනික්බිති කියුබාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කීර්තිමත් සේවයක් කළේය. ඉනික්බිති පිදෙල්ගේ බාධාකිරීම් නොතකා තවත් රටක මිනිසුනට සමාජවාදයේ උණූසුමම ලබා දීමේ අරමුණින් කියුබාව අත්හැර පිදෙල්ටත් නොකියා ගියේය. චේ වෙඩි කා මිය යන්නේ ඒ අසහාය ප්‍රයත්නයේදීය. ඒ බොලීවියාවේදීය. 
මා සහ මගේ කාමර මිතුරා චේ කියවන්නේ මේ අර්ථයෙනි. හූනු-පසුරක් තරම් වරප්‍රසාදයක් හෝ ලාභයක් ලැබුණු විට එය අත්හැරීමය හෝ එහි වගකීම් ඉටු කිරීමට දැන් කාලයේ උදාහරණ නැති තරම්ය. චේ ඇත්තවශයෙන්ම සිය වගකීම් මනාව ඉටු කළ මිනිසෙකි. ඔහු වෛද්‍ය වෘත්තිකයෙක් නොවූවද වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරයි. චේ උගත් මිනිසෙකි. චේ සමස්ථ ජනසමූහයා වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය කැප කරයි. ඔහු අසහාය කැපකිරීමමක් කළ හැකි තරමේ දියුණු මනසකින් යුත් මිනිසෙකි. ඔහු මෙක්සිකෝවේ සිට කියුබාවේ නායකත්වය ගන්නා තෙක් පිදෙල්ගේ අසම-සම මිතුරෙකි. පාවා නොදුන්නේය. අරමුණ අත් නොහැරියේය. අනෙකා ශක්තියෙන්ද-ජවයෙන්ද-අරමුණින්ද පෝෂණය කළේය. ඔහු අරමුණ කරා සිය මිතුරන් රැගෙන යන අසහාය මිතුරෙකි. ඔහු අරමුණ දිනාගත් අයෙකි. පසුව ද ඔහු ලද අධ්‍යක්ෂ තනතුරු හා ඇමතිකම් ඔහු අත්හැරියේය. ඒ ඔහු අසමත් මිනිසෙකු ලෙසනම් නොවේ. සමර්ථබවේ උච්චයට තම කාර්යයන් රැගෙන ඒමෙන් පසුවයි. ඉන් පසුවද වරදාන වරප්‍රසාද භුක්ති විදිමින් ප්‍රභූ-පොරක් වීමේ හීනමානය දුරලමින් ඔහු තවත් අයෙක් වෙනුවෙන් ජීවිත-දේශපාලන-සමාජ විමුක්ති උදාගරදෙනු රිසි සියලුම දේ පසෙක ලා ගියේය. අනෙක් වැදගත් කරුණ නම්, නොමැරී අරමුණ ජයගැන්මට වෙරදැරූවෙකු මිස මරණයට බය වී පාවා දී පලා ගිය හෝ මරණයට බයේ සැගව සිටි නිවටයෙකු නොවේ. මේ අර්ථයෙන් මා චේ කියවයි.
අනෙක් පැනය. ජේ.වී.පී. කාරයෙක්ද? චේ ජේ.වී.පී. කාරයෙක් හෝ ජේ.වී.පී. කාරයන් චේ ගේ මිනිසුන් නොවෙති. යටකී පරිදි දැන් චේ සමාජවාදයේ පරම සංඛේතය චේ බවට පත් වී ඇත. තමාගේ සමාජවාදීභාවය හෝ තමාගේ වෙනයම් විප්ලවීය අර්ථයක් සන් කරනු පිණිස ප්‍රකාශන සංඛේතය ලෙස චේ යොදා ගනියි. එය බහුලය. දක්නට ඇත. ජේ.වී.පී. යනු තම සමාජවාදී ස්වරූපයේ ප්‍රකාශන සංඛේතය ලෙස චේ යොදා ගන්නා තවත් සංස්ථාවකි. පිරිසකි. සරල අර්ථයෙන් කීවොත්, තමන්ගේ මාර්කටින් වැඩ සදහා සමාජවාදී ප්‍රකාශන සංඛේතය වූ චේ ව ඔවුන් පාව්ච්චි කරයි. චේ වෙලදපොලේද-සමාජවාදී ආකෘතියේ පක්ෂවලද-තාරුණ්‍ය තුලද-විප්ලවය තුලද මාර්කටින් වැඩ සදහා දැන් පාව්ච්චි වෙයි. චේ මාර්කට් වෙයි. මගේ කතාව අවසන්.
“ඒ කියන්නෙ උඹත් මේ චේ ව මාර්කට් කරනව“ දැයි මගේ මිතුරා මා ප්‍රශ්න කළේය. ඔව් එක පැත්තකින් ගත්තහම ඇත්තවශයෙන්ම ම විසින් චේ මාර්කට් කරයි. අනෙක් පැත්තෙන් ගත් විට, එවරස්ට් කන්ද තරණය කළ මිනිසෙකු දෙස බලමින් මා හන්තාන තරණයට සැරසෙයි. චේ අප පසුකර ගියේ බොහෝ දුරකි. ඇත්ත වශයෙන්ම, චේ යනු මටනම් මාරම පොරකි. ඒ පොරත්වය හා ඒ පොර ක්‍රියාවන්ට ආදරයෙන් ගරු කරමි.
මගේ මිතුරා මා මුණ ගැසෙන්නට ආවේ, ඔහුගේ මස්සිනාගේ ප්‍රාෙද්ශීය සභා ඡන්දයේ මාර්කටිං හා ප්‍රමෝෂන් වැඩ ටික මට භාරගන්නයැයි ආරාධනා කිරීමටයි. ඒ මස්සිනාගේ ඔහුගේ දෙවෙනි ඡන්දයයි. පළමු වර ලයිස්තුවේ අන්තිමේට සභාවට තේරුනේ ඔහුයි. දැන් ඔහුගේ මස්සිනා සභාවේ උපසභාපති වරයායි. පැත්තකින් මා කළ හදියක් නැතැයි තර්ක කළ හැකි නමුත්, මා ඔහුට ඔහු මාර්කට් කරගන්නා ආකාරය සේම අනෙකා මාර්කට් නොවීමට වගබලාගන්නා ඉතාම සාහසික මාර්කටින් න්‍යාය උගැන්වූයෙමි. කියා දුන්නෙමි. වසය තිබ්බානම් ඔහු සභාපතිය. මා එසේ කියන්නේ වැඩිම ඡන්ද ලාභියා ඔහු නිසාය. කාමරය හැම තැනම චේ ගේ රූප ඇලවීම තුලින් මා මගේ මොරාල් පෝෂණය කරගැනීමට අමතරව මා මගේ මාර්කටින් සවිඥානය අභිවර්ධනය කරමි. බිත්ති පුරා ‘චේ‘ සිටිනුයේ ඒ නිසාය...

5 comments:

Asela Gamlath said...

hmmmm..............

Wazaa said...

වටිනවා ..
චේ ව follow කරනවයි කියා පෙන්වන නිසා හෝ සමාජවාදේ කියවීම නිසා (පමණක්) තමන් පොරක් වේ යයි සිතන උන්ට, මේක කියවල (වත්) පොඩ්ඩක් හරි චේ ගැන දැනගන්න ලැබීම ඊටත් වැඩිය වටිනවා ...

TGG said...

That's great. Go ahead................

Anonymous said...

Thela Boss Menna Magen Podi Present Ekak....Mekath Oyage "Che" Album Ekata Ekathu Kara ganna....

(http://www.facebook.com/photo.php?fbid=224207130923382&set=a.224207117590050.66970.100000022896887&type=1&theater)

Imalsha said...

patta article eka..