Wednesday, May 18, 2011

දඹුලු ලෙන් විහාරයේ සිතුවම් විනාශමුඛයට


dam_lv01.jpgසංරක්ෂණය නොකිරීම හේතුවෙන් ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ (දඹුල්ල රන් විහාරය) සිතුවම් විනාශවෙමින් පවතින බව දඹුල්ල අප වාර්තාකරු පවසයි. දඹුල්ල ලෙන් විහාරයේ වර්ග අඩි 20000ක පමණ පැතිර පවතින බිතු සිතුවම් සහ වියන් සිතුවම් මෙලෙස අනතුරට පත්ව තිබේ.
පුරා වසර 10ක කාලයක් තිස්සේ මෙම සිතුවම් සංරක්ෂණය වී නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් සිතුවම් කෘමීන්ගේ ගහනයට නතුව ඇති අතර ඇතැම් සිතුවම් පුස් බැදී ඇත. ඇතැම් සිතුවම්වල දිය සෙවල බැදී තිබෙනුද දක්නට ලැබේ.
මීට වසර 10කට පමණ පෙර දඹුලු ලෙන් විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ තිබී මධ්‍යම සංස්කෘතික අරමුදලේ භාරයට පවරා ඇත. නමුත් විවිධ බලපෑම් හමුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලද එහි භාරකාරත්වයෙන් ඉවත්ව ඇත. ඉන් පසු මේ දක්වා කිසිදු ආයතනයක් යටතට මෙහි වගකීම පැවරී නැත. ඒ හේතුවෙන් ලෙන් විහාරයේ නඩත්තු කටයුතු සියල්ල ඇන හිට ඇත. ලෙන් විහාරයේ ප්‍රවිශ්ඨ මාර්ග පවා අභාවයට යමින් තිබේ. පැරණි රජ මාවත, හැරවුම්ගල මාවත මෙලෙස අභාවයට ගොස් තිබේ. එම මාර්ගවල රාත්‍රී කාලයේ විදුලි පහන් පවා ක්‍රියාත්මක නොවේ.
මේ අතර පසුගියදා සීගිරි බිතුසිතුවම් පරීක්ෂා කිරීමට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයින් දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්ද පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ මෙම චිත්‍රවල පුරාවිද්‍යා වටිනාකමට හානි පැමිණ ඇති බවයි. ඔවුන් ඒ පිළිබඳව වාර්තාවක් ඊයේ දිනයේදී ජනාධිපතිවරයාට භාර දී තිබේ.
දඹුල්ල ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්මසංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය ලෙස සැලකේ.  මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වනහා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙසස්ථාපනය කරන ලදි.වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි.පසුකාලීන රජුන්ද මෙහිසංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධානආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි.නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි.

0 Click Here to Comment: