Thursday, October 27, 2011

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු දෙකක් ද

ලියුම්කරුවා විසින් මෙහි ලියා ප්‍රකාශයට පත්කළ අවසන් ලිපි තුන මගින් පශ්චාත්නූතනවාදය පිළිබද මූලික කියවීමක් සිදු කළ අතරම පසුව පශ්චාත්නූතනවාදයේ එක් ප්‍රධාන සංධිස්ථානයක් වන පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය ගැන කථා කොට ඇත. අදාල ලිපි සම්බන්ධයෙන් මධ්‍යම පරිමාණයේ ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව දක්නට ලැබුණු විට පශ්චාත්නූතනවාදය පිළිබද සමාජ කුකුසක් තවමත් පවතින බව දක්නට ලැබේ. එසේම, ඒවායින් තහවුරු වන තවත් දෙයක් ඇත. එනම්, මෙතෙක් කාලයක් පශ්චාත්නූතනවාදය යනු ආභරණයක් හෝ වාග් මාලාවේ සුන්දරත්වය ඩැහැගැනීම පිණිස හැදෑරීමකින් තොරව කියවමින් සිටි සිද්ධාන්තයක් බවයි. එහෙයින්, ප්‍රතිචාර දක්වන්නන් විසින් අසමින් සිටින ප්‍රශ්න කිහිපයකි. මෙම ලිපිය අදාල එක් ප්‍රශ්නයකට පිළිතුරු දීම පිණිස ද තවත් පශ්චාත්නූතවාදී න්‍යායේ පැහැදිලිකිරීමක් සිදු කිරීමට ද යොදා ගනිමි.

යළිදු කියමි. මෙම ලිපි මගින් පශ්චාත්නූතනවාදයේ ගැඹූරු තැන් හෝ අදාල න්‍යාය පරම වශයෙන් සාකච්ඡා කිරීමක් සිදු නොකරමි. සිදුකරමින් සිටින්නේ, ඒ පිළිබද යම් මාර්ගෝපදේශ සැපයීමක් පමණි. යම් පුද්ගලයකු පශ්චාත්නූතනවාදය පිළිබද ගැඹුරු හැදෑරීමකට රුචියක් දක්වන්නේ නම් ඒ පිළිබද අවශ්‍ය සම්පත් දායකත්වය හා න්‍යායික මගපෙන්වීම් ලබා දීමට මෙන්ම අවශ්‍ය විටකදී ඒ සදහා උචිත උදවිය සොයා දීමට ද හැකි පමණ යොමු විය හැකි බව මෙහිලා සදහන් කරමි. මේ පිළිබද යමෙක් සංවාදයට සූදානම් නම් - දැනුම බෙදා ගැනීමේ හා න්‍යායික පැහැදිළිකරගැනීම් කරගැනීම හා බුද්ධි කලම්භනය සදහා සුහද සංවාදයක පවා පාර්ශවකරුවකු වීමට කැමැත්තක් දක්වන බව ද  කියමි.

අද සවස මා ෆේස්-බුක් ඔන්ලියින් ඉන්නා විටක, මගේ කාලාන්තර මිතුරකු හා මා උගත් පාසලේ ජ්‍යෙශ්ඨයකු වූ සගයකු විසින් ප්‍රශ්නයක් ඇසීය. “මල්ලි උඹ නූතනවාදියෙක් ද“ මම ඔහුට ලබා දුන් පිළිතුර වූයේ “නැහැ. මම පශ්චාත්නූතනවාදියෙක්“ යන්නයි. එවිට ඔහු පෙරළා ප්‍රශ්න කරමින් සිටියේ, “නූතනවාදය හා පශ්චාත්නූතනවාදය අතර වෙනසක් තියනව ද“ යන්නයි. මෙම ලිපියි අදාල පිළිතුරු දැක්වීම පිණිස අවකාශ කර ගැනීමට කල්පනා කළෙමි.

ලෝකයේ බොහෝ පශ්චාත්නූතනවාදී වියතුන්ට අනුව, පශ්චාත්නූතනවාදය අර්බුදයට ලක්වන අවස්ථාවන් කිහිපයක් ඇත. එනම්, නූතනවාදය හා පශ්චාත්නූතනවාදය යන න්‍යායන් දෙකෙහි වෙනසක් ඇති ද - ඇතිනම් ඒ කවරාකාරයෙන් ද යන ගැටළුව විසදීමය. දෙවැන්න නම්, පශ්චාත්නූතනවාදය කුමන කැටගරියේ න්‍යායක්ද යන්න වෙන් කර ගැනීමයි. එනම්, ආගමක් ද - දර්ශනයක් ද - එසේත් නැතිනම් වෙනත් යමක් ද මෙහිදී ප්‍රශ්න කෙරේ. සමලිංගිකත්වය හා ස්ත්‍රීවාදය ද ඇතුළු ලිංගික කරුණු සම්බන්ධයෙන් වන පශ්චාත්නූතනවාදී සංකල්පයන් පිළිබද පොදු සමාජයේ නොපැහැදිලි අදහසයි. මෙහිදී, අද වන විට මා හට පිළිතුරු දීමට සිදුව ඇත්තේ ද මෙහි පළමු හා සුලභ ප්‍රශ්නය වන පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු එකක් ද - නැතිනම් දෙකක් ද යන ගැටළුවටයි. 

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු කාලරේඛාවකින් හෝ ඉරකින් පෙර හා පසු වශයෙන් වෙන්කළ හැකි කාල දෙකකට අයත් සිද්ධීන් දෙකක් නොවන බව පළමුවම කිව යුතු වේ. එසේ, රේඛාවකින් වෙන් කර දැක්වීම කිසිලෙසකින්වත් පහසු නොවේ. පශ්චාත්නූතනවාදීන් විසින් කියනුයේ සමාජ සබදතා පරමාණුක බවයි. සමාජය පරමාණුක බව පශ්චාත්නූතනවාදීන්ගේ පමණක් නොව සෙසු සමාජ විද්‍යාඥයින්ගේ පවා මතයයි. එසේනම්, පශ්චාත්නූතනවාදයේ පරමාණුක සංකල්පය හා සෙසු දේ වෙනස් වන්නේ කෙසේදැයි ප්‍රශ්නකිරීමකට ලක්විය හැක. එසේම, පරමාණුක ස්වභාවයෙන් භාහිරට පෙනෙන්නට ඇති මානව සබදතා අභ්‍යන්තරයේදී විඝටනය වෙමින් තිබෙන බව පොදු න්‍යාය තුළදී මෙන්ම පශ්චාත්නූතනවාදී සමාජය තුළදී ද දක්නට ඇත. එය විශේෂිත පශ්චාත්නූතනවාදී පැහැදිළි කිරීමකට පමණක් අයිති නොවේ.

පශ්චාත්නූතනවාදය පැහැදිළි කිරීමේදී, ජනමාධ්‍ය විසින් හෝ වෙනත් දෙයක් මගින් වසගයට ලක් කිරීම හෝ ඩැහැගැනීම බොහෝ විෂයන් තුළ සිදුවන බව කියයි. පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය යනුවෙන් අප විසින් පවා සාකච්ඡා කරනු ලැබ ඇත්තේ එයයි. සියල්ල වසගයට ලක් වීමේ ප්‍රමාණය මත තීරණය වන බව එහිදී කියා ඇත. එනම්, ජනප්‍රියත්වය හා ප්‍රාග්ධනය හමුවේ සියල්ල තීරණය වන බවත් සත්‍යය පවා තීරණය කරනු ලබන්නේ අර්ථපතීත්වයක් මගින් බව මෙහිදී සාකච්ඡා කරයි. නමුත්, නූතනවාදීන්ට අනුව මෙම අදහස නූතනවාදීන් තුළ ද ඇත. එනම්, සියල්ල තීරණය වන්නේ ධනය හා බලය මත යැයි කියනු ලබන පොදු සමාජ කියමන මගින් අදහස් කරන්නේ ද මෙයමැයි ඔවුහු කියති. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය විසින් කියනු ලබන වෙනස තව ද වෙන් කර ගැනීමට නොහැකි වීම සාධාරණය.

සාහිත්‍ය විචාරකයිනට අනුව, පශ්චාත්නූතනවාදී සාහිත්‍යයේදී සාකච්ඡා කරනු ලබන සිනමාවේ, කළාවේ හෝ වෙනයම් සාහිත්‍යයක ලක්ෂණ නූතනවාදීන් විසින් ද එලෙසින් ම පැහැදිළි කරන්නේ යැයි යන්න නූතනවාදීන්ගේ අදහසයි. සරලවම කියන්නේ නම්, ඔවුන් කියන පරිදි සිනමාව-කළාව හා සාහිත්‍ය වැනි දේ තුළද පශ්චාත්නූතනවාදය නූතනවාදය යනුවෙන් දෙකක් වෙනම දැකීම අසීරුය. දක්නට ඇත්තේ නාමික න්‍යායන් දෙකකින් ඉදිරිපත්වන එක හා සමාන දේ ය. මචාලේ බ්‍රයන් විසින් රචිත පශ්චාත්නූතනවාදී ප්‍රබන්ධ (පෝස්ට් මොඩර්න් ෆික්ෂන්) නම් කෘතියේදී ඔහු විසින් කියනු ලබන්නේ, යම් කෘතියක හෝ සාහිත්‍ය නිර්මාණයක - නූතනවාදී ලක්ෂණ හා පශ්චාත්නූතනවාදී ලක්ෂණ යන ද්විත්වයම ඇත්තේ නම්, එය විශේෂයෙන් පශ්චාත්නූතනවාදී යන කැටගරියකට දැමීම නුසුදුසුය. එය, නම් කළ යුත්තේ නූතනවාදී කෘතියක්ය යන නමින් පමණකි.  මෙහිදී විශේෂයෙන් යමක් කිව යුතු වේ. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු නයා සහ අදුකොළ වැනි නිරන්තර අරගලයක යෙදෙන එකිනෙකට පටහැනි ද්විත්වයක් නොවේ. ඇතැම් විට සමානතා ද ඇතැම්විට විෂමතා ද පැවතිය හැක.  පශ්චාත්නූතනවාදී සංකල්ප තුළ සිදුවන්නේ නූතනවාදී අදහස් නව සමාජ සංස්ථාවක් වෙනුවෙන් ගැලපෙන පරිදි සංශෝදනය කොට වැඩි දියුණු කිරීම බව තේරුම් ගැනීමේ වරදක් නැතැයි කියමි. එසේම, පශ්චාත්නූතනවාදී සංකල්පයන් ගොඩනැගීම කෙරෙහි නූතනවාදී සංකල්පයන් උදව් වූ අතර පසුව අදාල නූතනවාදී අදහසට වඩා පෝෂණයෙන් ගොඩනැගුණු පශ්චාත්නූතව සංකල්පය වඩා දියුණු වූයේ යැයි කිව යුතුය. 

නමුත්, නීට්ෂේ හා හයිඩේගර් යන දෙදෙනාට අනුව නූතනවාදය යනු තවමත් සම්පූර්ණ නොවූ න්‍යායකි. එහෙයින්, නූතනවාදී අදහස් වැඩි දියුණු කිරීම යන දෑ සිදු කිරීමට හැකි නමුත්, එමගින් පශ්චාත්නූතනවාදය යනුවෙන් අලුත් යමක් ගොඩනැගිය නොහැකි වේ. ඔවුන්ට අනුව, නූතනවාදී අදහස් පශ්චාත්නූතනවාදය දක්වා දියුණු කිරීමට උත්සාහ කළ ඇතැමුන් නූතනවාදය තුළම හිරවී හෝ නැවතී ඇත. 

අවසාන වශයෙන් සරලව යමක් කිව හැකිය. පශ්චාත්නූතනවාදය යනු, නූතනවාදියා යම් දිනක යම් තැනකින් නවතින්නේ ද එතැනින් දශමයක් හෝ ඉදිරියට පෝෂණය වූ සංකල්පයකටයි. න්‍යායකටයි. අදහසකටයි. නූතනවාදයේ අවසානය අනන්තය නම්, පශ්චාත්නූතනයාදය යනු පශ්චාත්නූතනවාදය = නූතනවාදයේ අවසාන පැහැදිළි කිරීම (නූතනවාදී අනන්තය) + 1 යන සමීකරණයටයි.

Tuesday, October 25, 2011

පශ්චාත්නූතනවාදී ජනමාධ්‍යය

ලියුම්කරුවා විසින් පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ පිළිබද යම් මූලික හෙවත් ප්‍රාථමික අධ්‍යයනයක් මෙහි ප්‍රකාශයට පත්වූ මුල් ලේඛන දෙකකදී දැක්වීය. ඒ අනුව, දැන් අපට හැදෑරීමට ඉතිරිව ඇත්තේ පශ්චාත්නූතනවාදය මගින් සාකච්ඡා කරන සෙසු කරුණු පිළිබද වන හැදෑරීමයි. මේ අනුව, මෙම කියවීම මගින් පශ්චාත්නූතනවාදී හැසිරීම හොදිව් හදුනාගත හැකි, පොදු සමාජයට සංවේදී විෂයක් පිළිබද හැදෑරීමට අවකාශ වෙන් කිරීමට කල්පනා කළෙමි.

මේ අප ජීවත්වන්නේ තොරතුරු සමාජයක යන්න, ජනමාධ්‍ය පිළිබද කතා කිරීමේදී පට්ට ගසනා කියමනකි. එහි සත්‍යතාවයක් ඇත. නමුත්, ඔය කියන දේශකයින් හෝ විචාරකයින් විසින් පුම්ඹා දෙන තරමටම මේ සමාජය තොරතුරු සමාජයක් දැයි විමසා බලනු වටියි. මෙහි අරමුණ වන්නේ, මේ සමාජයේ තොරතුරුමය වටිනාකම සොයා බැලීම නොවේ. එසේ වුවත්, පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය පිළිබද කතා කිරීමේදී සමාජයේ තොරතුරුමය වටිනාකම හෝ සමාජය තුළ තොරතුරු වලට ඇති වටිනාකම හෝ තත්ත්වය පිළිබද සොයා බැලීම අත්‍යාවශ්‍යම නොවූවත් අවශ්‍ය තත්ත්වයකි.

සමාජයේ පැවැත්ම කෙරෙහි ජනමාධ්‍ය විසින් කරන බලපෑම ඉතා ප්‍රබලයි. මිනිස් ක්‍රියාකාරකම් පමණක් නොව සිතිවිලිවල හැසිරීම කෙරෙහි ජනමාධ්‍යයෙන් කරන බලපෑම වඩා ප්‍රබල වේ. අද වන විට හුස්ම ගැනීම, කෑම - බීම - ලිංගික ආශ්වාදය ඇතුළු සියලුම කාරණා පාලනය කරන සාධකය බවට ජනමාධ්‍ය පත්ව තිබේ. ජනමාධ්‍යය යනු කවර ගණයේ දේ ද යන බව කල්තබාම විසදා ගත යුතු වේ යැයි විශ්වාස කරමි. ජනමාධ්‍ය කියූ පමණින් සිහියට එන පත්තර - ටී. වී. - රේඩියෝ මෙන්ම අන්තර්ජාලය හෙවත් පරිඝණක ජාල ද දුරකථනය ද ජනමාධ්‍ය ගණයට වැටෙන බව විශ්වාසයයි. පොත-පත සහ හුවමාරු වන චිට්-තුන්ඩු පවා ජනමාධ්‍යය වේ යැයි ජනමාධ්‍ය පිළිබද විද්වතුන්ගේ අදහසයි.

පශ්චාත්නූතනවාදී සමාජය තුළ ජනමාධ්‍යයක වගකීම තොරතුරු ව්‍යාප්ත කිරීම හෝ තොරතුරු මත පදනම්ව ගොඩනැගෙන සෙසු දේ සමග පමණක් සීමා නොවේ. අද වන විට, මානව සංකල්ප වෙළද භාණ්ඩ බවට පත් කරමින් අළෙවි කිරීම ද ජනමාධ්‍ය විසින් සිදු කරයි. ඇත්ත වශයෙන්ම කිවතොත් අද වන විට ජනමාධ්‍ය විසින් කරමින් සිටින්නේ අලෙවි කිරීමේ කාර්යයි. මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය තෘප්ත කිරීම පිණිස ජනමාධ්‍ය විසින් තොරතුරු අළෙවි කරයි. විඩාව හා කාන්සිය මැඩලීමට අවශ්‍ය සුවපහස හා හවුල්කාරීත්වය අළෙිවි කරමින් සිටියි. ගැහැණිය, තම රූපශෝභාව පිළිබද තෘප්තිමත් නොවන්නේ නම් - එසේ තෘප්තිමත් විය හැකි තරමේ සාධකයන් අළෙවි කිරීම ජනමාධ්‍ය විසින් සිදුකරමින් සිටියි. සාමාන්‍යෙයන් මාධ්‍යයක වගකීම වන්නේ තොරතුරු යන්න පොදු සමාජයේ අදහසයි. එනම් මහා ආඛ්‍යානය එයයි. නමුත්, පශ්චාත්නූතනවාදය විසින් පෙන්වා දෙන පරිදි මහා ආඛායනය විසින් හදුනා නොගත් දේ නම් තොරතුරු වලින් භාහිර සෙසු දේ වන ජීවන හුස්ම වැටීමට අවශ්‍ය ආත්ම තෘප්තියේ සිට සියලු දේ ජනමාධ්‍ය විසින් අළෙවිකරමින් සිටියි.

ජනමාධ්‍යයක පරම වගකීම යනු තොරතු බෙදා දීම නම් අද වන විට ජනමාධ්‍ය විසින් ලබා දෙමින් සිටින්නේ සත්‍යය හෝ සැබෑ තොරතුරු ද යන ප්‍රශ්නය ඉස්මතු වේ. මෙහිදී, ජනමාධ්‍යයකට විශාල වගකීමක් පැවරේ. නමුත්, සෙසු තරගකාරී මාධ්‍යයන් සමග තරගකිරීමට සිදුවේ. ජනමාධ්‍යයක් විසින් සත්‍ය ප්‍රචාරය කිරීමේදී, සත්‍යයන් කිහිපයක් ඇති අවස්ථාවන් බහුලව පවතියි. එවිට, ජනමාධ්‍යයක් ආයතනයක් ලෙස ප්‍රචාරය කළ යුත්තේ අදාල සත්‍යයන්ගෙන් කවර සත්‍යය ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ. එවිට තමන් විසින් තෝරාගත යුතු වන්නේ තමන් විසින් අළෙවිකරමින් සිටින දෑ වෙත සමපාත වන සත්‍යයි. න්‍යායාත්මක පැහැදිළිකිරීමක් තුළ මෙය අපභ්‍රන්ශයක් විය හැක. එහෙයින්, අදාල සිද්ධාන්තය පැහැදිලි කිරීම කෙරෙහි උපකාර පිණිස යාබද උදාහරණයක් මෙසේ ඉදිරිපත් කරමි. මුල්ලේරියාවේදී දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් වෙඩි හුවමාරුවකට මැදි විය. අදාල කරුණ සත්‍යයකි. භාරත මිය ගිය බවත් පොදු සමාජය දන්නා පරිදි දුමින්ද බරපතල තුවාල ලැබූ බවත් සත්‍යයකි. මෙහිදී, ජනමාධ්‍ය විසින් දන්නා සත්‍යය ප්‍රචාරය කිරීමේදී තමන්ගේ වෙළද පොළට ගැලපෙන දේ සත්‍යය ලෙස වෙන් කොට ප්‍රචාරය කිරීම සිදු කළ යුතු වේ.

දුමින්දගේ සහෝදරයාගේ හිමිකාරීත්වය හිමි ආසියානු මාධ්‍ය ජාලයේ තොරතුරු සම්ප්‍රේෂණය සිදු වන්නේ දුමින්ද වෙඩි ප්‍රහාරයට ලක් වූ අයුරිණි. දුමින්ද ට එරෙහි යම් මාධ්‍යයක් විසින් මෙය වාර්තා කරන්නේ භාරත වෙඩි ප්‍රහාරයට ලක් වූ අයුරිණි. මේ කතා දෙකම හෙවත් සිද්ධි දෙකම සත්‍යය වේ. දෙදෙනාම වෙඩි කා ඇත. නමුත්, දුමින්ද වෙඩි කෑ බව කියන ඒ. බී. සී. ය භාරත ගැන හාන්කවිසියක් නොදොඩයි. මන්දයත්, ඒ. බී සී.යේ වෙළදපොළ හා අළෙවිකරුවන් සැදී ඇත්තේ එම සත්‍යය පිළිගැනීමටයි. එහෙයින්, උක්ත සත්‍ය සිද්ධියේදී ඒ. බී. සී.යට ගැලපෙන සත්‍යය කොටස පමණක් උකහාගෙන ප්‍රචාරය කිරීම ඔවුන් විසින් සිදු කරයි. එකම සිද්ධියක් දෙවිදියකට වාර්තා කරනු ලබන්නේ මාධ්‍යය විසින් තමන්ට සාපේක්ෂ සත්‍යයි. එහි වරදක් නැති බව පශ්චාත්නූතන සමාජයකදී තේරුම්ගත යුතු වේ. එනම් අප විසින් පශ්චාත්නූතන සමාජයක මාධ්‍ය පිළිබද තේරුම්ගත යුතු කරුණ වන්නේ, සත්‍යය නම් අංශුමය ලක්ෂණ සහිත එකක් බවයි. එහෙයින්, සත්‍යය එකකට වැඩි ගණනක් තිබිය හැක. පෙර ලිපියක දැක්වූ පරිදි පශ්චාත්නූතනවාදීන් විසින් ලොව පරම සත්‍යයක් නැත යනුවෙන් ද ඇත්තේ සාපේක්ෂ සත්‍යයක් පමණක් බව ද යන බව මූලධර්මයක් ලෙස පෙන්වා දෙන්නේ එහෙයිනි. ඒ අනුව, ජනමාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති කාමරයේ මේස උඩ සාපේක්ෂ සත්‍යය හා වෙළදපොළට ගැලපෙන සත්‍ය නිෂ්පාදනය කරමින් සිටියි. අංක එකේ ‘ප්‍රවෘත්ති සපයන්නා‘ වන්නේ එහෙයිනි. මෙහිදී, තවත් දෙයක් සැලකිල්ලට ගත යුතු වෙයි. සත්‍යයය දෝලනය වන්නේ ප්‍රාග්ධනය හෝ අර්ථපතීත්වයේ දෝලනය වීම සමගයි.

ඒ අනුව, මිනිසුන් විසින් වඩාත් පිළිගැනීමට ලක් වන්නේ වඩාත් ශක්තිමත් ප්‍රාග්ධනයක් හෝ අර්ථපතීත්වයක් විසින් නිර්මාණය කරන හෙවත් ‘රෝල් කරන‘ සත්‍යයයි. අප දැනගත යුතු සත්‍යය තීරණය කරන්නේ වඩාත් ශක්තිමත් ප්‍රාග්ධනයක් හිමි ජනමාධ්‍ය ආයතනය හෝ ආයතන විසිනි. 

සෙසු කරුණු ද උක්ත කරුණු හරහාම කියවා ගත හැකි වේ. ඒ අනුව, ආදරය-යුක්තිය-සාධාරණය-සාමය හෝ යුද්ධය ආදී සියල්ලටම සිදුවන්නේ එසේය. ලිබියාවේ ගඩාෆිට පහරදී ඝාතනය කිරීම කොතරම් දුරට සාධාරණ ද නැතිනම් යුක්ති සහගත ද වන්නේ ප්‍රාග්ධනය වැඩි සමාගමක් හෝ ආයතනයක් විසින් කියනු ලබන සත්‍යයි. ගඩාෆි ඝාතනය බී. බී. සී., සී. එන්. එන්., රොයිටර්ස් විසින් සාධාරණීකරණය කරන්නේ නම් ලෝකයේ සත්‍යය වන්නේ එයයි. ගඩාෆි ද්‍රෝහියෙක් වන්නේ එහෙයිනි. නැතිනම්, ගඩාෆි වීරයෙක් වන්නේ ද එසේමය. ඇමරිකානුවන් ගඩාෆි ඝාතනය “වාව්“ කීමට සිද්ධීයක් කරගන්නා විට - ලංකාවේ වැසියන් විසින් ගඩාෆි ඝාතනය “ඇමරිකානු කුමන්ත්‍රණයක් හෝ පාපයක්“ ලෙස පෙන්වා දෙන්නේ ඒ ඒ තැන්හි ප්‍රාග්ධනයේ ශක්තිමත්භාවය මතින් නිර්මාණය කරන සත්‍යය මතයි.

අද වන විට මාධ්‍යවේදීන්ගේ පැවැත්ම හා ඔවුන්ගේ කුසලතාවය රදාපවතින්නේ එහෙයිනි. යම් මාධ්‍යකරුවෙකුට, ප්‍රාග්ධනයට හෝ අර්ථපතීත්වයට හිමි පරිදි හැසිරෙන්නේ නම් - ඔහුට නියම මාධ්‍යකරුවෙක් විය හැක. 

පශ්චාත්නූතනවාදය යනු... ( 2 වෙනි කොටස )

පශ්චාත්නූතනවාදය යනු කුමක් ද යන බව කියවීම පිණිස ප්‍රාථමික කියවීම ආරම්භ කළෙමි. එසේම, පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ අතරින් ප්‍රමුඛ පෙළේ න්‍යායන් කිහිපයක් හෙවත් මූලික සිද්ධාන්ත කිහිපයක් මෙහි පළමු ලිපියේ ලියා ඇත. ඒ අනුව, මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනුයේ අදාල න්‍යායන්ගේ මීලග ලක්ෂණ කිහිපයක් පිළිබද ප්‍රාථමික කියවීමක් හෝ හැදෑරීමක් සිදු කිරීමටයි.

පෙර කී කරුණු හතරින් පසු, පශ්චාත්නූතනවාදයේ ලක්ෂණයක් සේ සලකනු ලබන්නේ සංස්කෘතික ප්‍රෙභ්දකරණය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රමිතියයි. මෙම ප්‍රමිතිකරයට අනුව, තත් කාලීන සංස්කෘතිය පිළිබද මානව අදහස පිළිබද පශ්චාත්නූතනවාදයේ අදහස ඉදිරිපත් කරයි. මහාචාර්ය ෆෙඩ්‍රික් ජෙම්සන්ට අනුව - මෙම සිද්ධාන්තය පහදන්නේ මෙසේය. සංස්කෘතිය යනු, “දැනුම විශ්වාසය, කළාව, සදාචාරය, නීති - සිරිත් - විරිත් සමාජයේ ජීවත් වන පුද්ගලයකු ලෙස ලබා ගත් පුරුදු හා හැකියා ඇතුළත් සංකීර්ණ සමස්තයයි. එසේ ම සංස්කෘකිය යනු සමාජයේ සාමාජිකයින් බෙදාහදා ගන්නා අදායන චර්යා ලෙසත් හැදින්විය හැක.‘‘ ඒ අනුව, පශ්චාත්නූතනවාදය යනු සංස්කෘතික ප්‍රෙභ්දකරණයට ප්‍රතිවිරුද්ධ අදහස් දැරීමයි. ඒ අනුව, විදග්ධ හා ජනප්‍රිය හෝ ප්‍රශස්ථ හෝ එසේ නොවන කළාවක් හෝ සංස්කෘතියක් කියා දෙකක් නැත. ඇත්තේ, එකකි. එය සංස්කෘතිය ලෙස පිළිගනියි. කෙනෙකු විසින් යහපත් ලෙස වැළදගන්නා දෙයක් තවත් අයෙක් විසින් අයහපත් යැයි විශ්වාස කරයි. නමුත්, පශ්චාත්නූතනවාදයේදී යහපත් හා අයහපත් ලෙස ප්‍රෙභ්සකරණය වූ දෙකක් නැත. භේදය වෙනුවට සංස්කෘතික සම්මිශ්‍රණය උතුම් යැයි සැලකීම පශ්චාත්නූතනවාදීන් විසින් අදහනු ලබයි. සාමාන්‍ය මිනිසාට අනුව  ජෝතිපාල යනු ජනප්‍රිය සංස්කෘතියේ ගායකයෙකි. අමරදේව යනු විදග්ධ සංස්කෘතියේ ගායකයෙකි. නමුත්, පශ්චාත්නූතනවාදයට අනුව, නියම ගායන කළාව යනු - ජෝතිගේ හා අමරදේවයන්ගේ කළාවයි.

පශ්චාත්නූතනවාදය පිළිබද හැදෑරීමේදී, තවත් සුවිශේෂී ලක්ෂණයක් පවතියි. එනම්, විසංයෝජනයයි. මෙය මෙම න්‍යායේ මූලස්ථම්භය ලෙස සලකයි. මෙය සරලව පැහැදිළි කිරීමට යම් උත්සාහයක් ගතහොත්, විචාරය කිරීම ට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. ප්‍රතිභවය හෙවත් ඔරිජිනල් එක වෙන් කොටගෙන (රවුම් කරල අරගෙන) විශ්ලේෂණය කිරීමේ පුරුද්ද මෙහිදී අදහස් කරයි. මේ පිළිබද ඩෙරීකාගේ ෆාමසි යන පොතේ වැඩි වශයෙන් කතා කරයි. මුල් කෘතිය තනිකරගනිමින් එහි අංගෝපාංග වෙන් වෙන්ව කියවා බැලීම මෙහිදී සිදු කරයි. සේකරගේ තුන්මං හන්දිය කියවන පශ්චාත්නූතනවාදියා විසින් සේකර, තුන්මං හන්දිය හා එහි සෙසු කරුණු වෙන් වෙන්ව රවුම් කරමින් කියවයි. සෙසු පුද්ගලයා මේ සියල්ල එකට ගෙන කියවයි. නමුත්, පශ්චාත්නූතනවාදියා විසින් කරන මේ හැදෑරීම සෙස්සාගෙන් වෙනස් වන්නේ, රාමු සැකිල්ලේ එක් එක් දණ්ඩ වෙත වෙන් වෙන්ව බලය යොදමින් බලඝූර්ණය සොයන්නා සේ, වෙන් වෙන්ව හැදෑරීම සිදු කිරීම නිසායි.

ස්වරූපරාගය හෙවත් නාසිස්මය (නාර්සිස්ම්) යනු පශ්චාත්නූතනවාදී ලක්ෂණයකි. මනෝජ් ප්‍රසන්න රත්නායක විසින් පැහැදිලි කරන ආකාරයට නාසිස්මය යනු, තමාට තමාගේ ප්‍රතිරූපයටම දක්වන අසීමිත ආදරයයි. ඒ අනුව, පෙනී යන්නේ නාසිස්මය හෙවත් ස්වූපරාගයට ගොදුරුවූවකු නිරන්තරයෙන් ආත්ම වන්දනාවේ යෙදෙයි. මමත්වයෙන් කටයුතු කරයි. මෙහි උච්චතම අවස්ථව වන්නේ, තමා පමණක් පවතිනවාය යන අදහසයි. ඉන් මෙහා පවත්නා, තමා තමාට ‘පොරක්‘ ලෙස සලකා කටයුතු කරයි. තමන්ගේ පිළිරුව තමන් විසින්ම නෙළාගෙන තමන් විසින්ම ගරු සත්කාර පවත්වාගන්නවා වැනි තත්ත්වයකි. සිග්මන් ප්‍රොය්ඩ්ට අනුව, සෑම මනුෂ්‍යෙයක් තුළම අඩුවැඩි වශයෙන් මෙම ස්වරූපරාගය පවතියි. එය සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයකි. මෙ පශ්චාත්නූතනවාදී ලක්ෂණයක් වන්නේ, තමාගේ භෞතික රූපයට හෝ තමාගේ කුසලතාවයන්ට හෝ හැකියාවන්ට අසීමිත ලෙස ආසරය කිරීමේ තත්ත්වයයි. පශ්චාත්නූතනවාදී නාසිස්මය පවත්නා පුද්ගලයාට, ඔහු පිළිබද විශාල විශ්වාසයක් පවතියි. එසේම, අදාල විශ්වාසය පොදු සමාජය තුළ රෝපණය කිරීමට උත්සාහ දරයි. මේ අනුව, පශ්චාත්නූතන නාසිස්මය තුළ අනෙකා නොපවතියි. තමාම පමණක් පවතියි. තවත් සරලවම කියන්නේ නම්, මහින්ද රාජපක්ෂට අනුව, යුද්ධය අවසන් කළේ මහින්දය. සරත් ෆොන්සේකාට අනුව, යුද්ධය අවසන් කළේ සරත්ය. ගේඨාභය ට අනුව යුද්ධය අවසන් කළේ ගොඨාගේ කෙරුම්කාරකමටය. මෙහිදී, මේ තිදෙනාම නාසිස්මයට අනුව හැසිරෙයි. නමුත්, මෙහිදී පශ්චාත්නූතන නාසිස්මය සාර්ථක කරගන්නේ අදාල ආත්ම වර්ණනාව පොදු සමාජය විසින් වැළද ගැනීමේ ප්‍රමාණය මතයි. 
මේ අනුව, පශ්චාත්නූතනවාදයේ මූලික ස්ථම්භයන් හතක් මේ වන විට සාකච්ඡා කොට ඇත. නමුත්, කිව යුතු ප්‍රධානය කරුණක් නම්, පශ්චාත්නූතනවාදය යනු මෙම කරුණු හත පමණක් නොවේ. එසේම, මෙහිලා දක්වා ඇත්තේ පශ්චාත්නූතනවාදයේ ගැඹුරු හා පරම අදහස නොවේ. මෙය යම් මග පෙන්වීමක් පමණයි. මෙය යම් හැදෑරීමක් වෙනුවෙන් මග පෙන්වීමක් පමණක් වන බව ද කියමි.

එසේම, පශ්චාත්නූතනවාදී සෙසු ආශ්‍රයන් හා පරිවාර කරුණු පිළිබදව ද මෙමගින් සාකච්ඡා කිරීමට හා හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින බව කියමි. අදාල කරුණු හැදෑරීමට පෙර, මෙම මූලික ලක්ෂණයන් පිළිබද දීර්ෂ ලෙස සාකච්ඡා කිරීමට ඔබට ආරාධනා කරමි.

Sunday, October 23, 2011

පශ්චාත්නූතනවාදය යනු... ප්‍රාථමික කියවීමක්

අද වන විට පශ්චාත්නූතනවාදය යන වචනය හෝ සංකල්පය පිළිබද ඇත්තේ විවිධ ආකල්පයන් හා හැමගීම්ය. පශ්චාත්නූතනවාදය යනු සමලිංගික සේවනය වෙනුවෙන් පෙනී සිටීමේ න්‍යාය හෝ සමාජ සිද්ධීන් වෙනුවෙන් කුණුහරැප අර්ථ නිරූපණ සපයමින් සිටින න්‍යායික හැදෑරීමක් ලෙස බොහෝ දෙනා සිතමින් සිටිනු දක්නට ඇත. නුමත්, පශ්චාත්නූතනවාදය පිළිබද ‘දෙන්නම් දොඩම්‘ විවේචනය කරමින් සිටින කිසිවකුත් එම න්‍යාය පිළිබද ගැඹුරු හැදෑරීමක් හෝ කියවීමක් සිදු නොකර එවැනි අදහස් හා මත දරමින් සිටිනු බව දක්නට ඇති බව දැකීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත්, පශ්චාත් නූතනවාදය යනු එක ලිපියකින් කියවා ගත හැකි සිද්ධි අධ්‍යනයක් හෝ න්‍යායක් නොවන බැව් ද සදහන් කළ යුතුය. නමුත්, ඒ පිළිබද හදාරණු ලදුව යම් ලක්ෂණමය පැහැදිළි කිරීමක් කිරීම වටින්නේ යැයි සිතණු නිසා ලියුම්කරුවා විසින් මෙහි ලිවීමට අදහස් කරයි.

පශ්චාත්නූතනවාදය පිළිබද සමාජ විද්‍යාඥයින් විසින් පවා දරණ අදහස් ඇතැම් විට හාත්පස වෙනස් අදහස්ය. රූට්ලෙජ් නම් විශ්වකෝෂය විසින් පශ්චාත්නූතනවාදය හදුන්වන්නේ, නුතනවාදයට පසුව පැමිණි ව්‍යාපෘතියක් ලෙසයි. බ්‍රිටැනිකා විශ්වකෝෂය විසින්, එය නූතනවාදයට එරෙහි ව්‍යාපෘතියක් ලෙසත් මහාචාර්ය ඤාණදාස පෙරේරා සහ දයා එදිරිසිංහ යන වියතුන් විසින් එය නූතනවාදයට එරෙහි ප්‍රතිචාරයක් ලෙසත් හදුන්වාදෙයි. එසේම, පශ්චාත්නූතනවාදය පිළිබද සොයා බැලීමේදී තවදුරටත් මීට වඩා සාර්ථක හෝ තේරුම්ගත හැකි තැනකට යා යුතුව ඇති බව හැගේ. ඉකෝ නම් විශ්ලේෂකයා විසින් මෙසේ තර්ක කරයි. ඔහුට අනුව, පශ්චාත්නූතනවාදය යනු හැම යුගයකදීම පවත්නා ඒ ඒ යුගයට යම් වෙනස්කමක් දක්වන තත්ත්වයකි. එහෙයින්, පශ්චාත්නූතනවාදය යනු 70 හෝ 8- දශකයේ ආරම්භවූවක් බව කිව නොහැක. ඉකෝගේ අදහස වන්නේ, කාලය සමග සම්බන්ධ ප්‍රවණතාවක් ලෙස නොව පරමාදර්ශී ප්‍රවර්ගයක් ලෙස අර්ථ දැක්වීය යුතු බවයි. එහෙයින්, පශ්චාත්නූතනවාදය යනු තත් කාලීන සමාජ පැවැත්මට එරෙහි ප්‍රවණතාවක් යන සරල අදහසින් තේරුම්ගත යුතු වන්නේ යැයි ව්ශ්වාස කරමි.  සංශිප්තව සැලකීමේදී, පශ්චාත්නූතනවාදය යනු සංස්කෘතික, සමාජයීය හා දාර්ශනික සංගල්පවලින් සුසැදුණු දෘශ්ඨිවාදයක් බව මනොජ් ප්‍රසන්න රත්නායකගේ අදහසයි.

පශ්චාත්නූතනවාදය ලක්ෂණ කිහිපයකින් යුක්ත වේ. පශ්චාත්නූතනවාදයේ මූලිකම ලක්ෂණය නම් ‘මහා ආඛ්‍යානය ප්‍රතික්ෂේප කිරීම‘යි. සංස්කෘතික සිද්ධීන්ට හා සමාජයේ සම්මත යැයි පිළිගත් සිද්ධීන්ට සුජාත බවක් සපයන සිද්ධාන්තයන් මහා ආඛ්‍යානය යනුවෙන් සරලව කියවා ගත හැක. එනම්, එල්බගෙන සිටින මතවාදයන් හා බිදහෙළිය නොහැකි තරමටම විශ්වාස කරන සිද්ධීන් පිළිබද වන විරුද්ධ ප්‍රතිචාරය හෝ සහේතුක විවේචනය මෙනමින් හදුන්වයි. ඒ අනුව, පශ්චාත්නූතනවාදයේදී පොදු හා සම්මත සිද්ධීන් පිළිබද අන්ධ භක්තියක් නොදක්වයි. මේ තත්ත්වය ඉතා පහසු එකක් නොවේ. මෙවැනි සිද්ධාන්තයන් පිළිබද සමාජයෙන් එල්ල විය හැකි ප්‍රතිවිරෝධය ඉතාම විශාලය. පොදු සමාජයේ වීරයෙකු ලෙස පිළිගනිමින් සිටින පුද්ගලයකු වීරයකු නොවන බව කීමට යාමේදී සමාජය විසින් ‘පිස්සකු‘ යැයි හංවඩු ගැසිය හැක. උදාහරණයක් ලෙස, දුටුගැමූණු රජු යනු පොදු සමාජය වෙනුවෙන් පෙනී සිටි අයෙක් නොව, ඔහුගේ රාජත්වය හා රාජකීය උරුමය වෙනුවෙන් පොදු සමාජය භාවිත කළ, ‘පාවිච්චි කළ‘ අයෙක් යැයි කිව හැක. නමුත්, දුටුගැමුණු රජු යනු ජාතික වීරයෙක් හා පොදු සමාජයේ පොරකි. එහෙයින්, මහා ආඛ්‍යානය විසින් වැළදගෙන සිටින මේ අදහසට ප්‍රතිවරුද්ධව යටකී තර්කය ගෙන ඒම පොදු සමාජ විවේචනයට ලක් වීම සාධාරණය. නමුත්, දුටුගැමුණු රජු සේනා සංවිධාන කළේත්, යුධ වැදුණේත් තම රාජත්වය ආරක්ෂා කර ගැනීමේ පුද්ගලික ආත්මාර්ථීය හැගීමෙන් යැයි තර්ක කළ හැක. එවැනි, කරැණක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහලයන් විසින් රටේ පොදු බහුතර අත්කරගත් බව ද කිව හැක. පශ්චාත්නූතනවාදීයා හෝ එම සිද්ධාත්නය විසින් පොදු සමාජයේ පූජනීය ලෙස විශ්වාස කරමින් සිටින, මහා ආඛ්‍යානය ප්‍රශ්න කරයි. එය, පොදු ආඛ්‍යානයේ එල්බගෙන සිටින - වෙනත් හැගීමක් නොදක්වන අය විසින් විවේචනය කරයි. නමුත්, පශ්චාත්නූතනවාදියා පොදු සමාජයේ පොදු සිතිවිල්ල අතික්‍රමණය කරමින් මහා ආඛ්‍යානය ගැඹුරින් හදාරා, පසුව මහා ආඛ්‍යානවලින් ඉවත් වෙයි.

පශ්චාත්නූතවාදයේ දෙවැනි විශ්වාසය නම්, පරම සත්‍යයක් නොමැත යන විශ්වාසයයි. එනම්, පරම පාරිශුද්ධ සත්‍යයක් නොපවතින බවත් ඇත්තේ සාපේක්ෂ සත්‍යයක් පමණක් බවත් යන විශ්වාසයයි. පශ්චාත්නූතනවාදයේදී සත්‍යෙය් අනේකතාවය පිළිබද විශ්වාසය තබයි. සත්‍යය යනු මායාවක් බවත් පොදු ආඛ්‍යානය විසින් හෝ බහුතරය විසින් හෝ බහුතරයට පිළිගත හැකි සුළුතරය විසින් හෝ එක් අයෙක් විසින් කියනු ලබන දේ පොදු සමාජයට සාපේක්ෂව සත්‍යයක් ලෙස පිළිගනියි. එහෙයින්, නිරපේක්ෂවම සත්‍යයැයි අර්ථ ගැන්විය හැකි පරම පැවැත්මක් නොමැති බව ද විශ්වාසයයි. නීට්ෂේ නම් දාර්ශනිකයා විසින් දක්වන අයුරින් සත්‍යය යනු පුද්ගලයා විසින් නිර්මාණය කර ගන්නා ලද මායාවකි. මායාව සත්‍යයක් යැයි ව්ශ්වාස කරමින්, එය සත්‍යයමැයි ව්ශ්වාස කරගනිමින් සිටියි. මාක්ස්වාදයට අනුව, ලොව පවත්නා පරම සත්‍යය මාක්ස්වාදයයි. ට්‍රොස්ට්කිට අනුව, ලොව පවත්නා පරම සත්‍යය ට්‍රොස්ට්කිගේ අදහසයි. කිතුනුවන් විසින් පරම සත්‍යය ලෙස විශ්වාස කරන දේ බුදුදහමේදී සත්‍යයක් නොවී විසිරී යයි. බුදු දහමේ සත්‍යය ලෙස දේශනා කරන දේ, බෞද්ධයාට සාපේක්ෂව සත්‍යයක් වුවත් වෙනත් තැනකදී එය අසත්‍යයක් වෙයි. එහෙයින්, සමාජය තුළ සත්‍යයක් නැත, ඇත්තේ ඒ ඒ පොදු සමාජයට හෝ පුද්ගලයාට සාපේක්ෂ සත්‍යයක් පමණක් බව පශ්චාත්නූතවාදය සිද්ධාන්තයක් ලෙසම විශ්වාස කරයි. තවත් උදාහරණයක් ලෙස, මහා ඉහළින් පිළිගත් සොක්‍රටීස් තවත් කළෙක තුට්ටුවකට ගණන් නොගැනීමට ලක් වේ. 

පශ්චාත්නූතනවාදය තුළ විශ්වාස කරන මුඛ්‍ය සිද්ධාන්තයක් ඇත. එනම්, අධියථාර්ථයයි. මෙහි ඉංග්‍රීසි වචනය හයිපර්-රියලිටි යන්නයි. අධියථාර්ථය යනු- (1) ජනමාධ්‍ය (2) බහුජාතික ප්‍රාග්ධනය (3) භාෂාව හා දෘශ්ඨිවාදය හා (4) අන්තර්ජාලය යන සිද්ධීන් විසින් නිර්මාණය කරනු ලැබූවකි. එක් පැත්තකින්, හිට්ලර්ගේ ගොබෙල්ස් න්‍යාය ද මීට යම් සමානකරමක් දක්වයි. සිදු නොවූවක් නොව අසත්‍යයක් දිගින් දිගටම සිදු වූවා සේ පෙන්වා දීම හෝ නිරන්තර තෙපලීමෙන් විශ්වාස කරන තත්ත්වයට පත් කිරීම මෙමගින් අදහස් වේ. සිව්මාන චිත්‍රපටයක් විසින් පෙන්වන සිද්ධිය, එම සිනමා පටය නරඹමින් සිටින අවස්ථාවේදී පෙණෙමින් තිබෙන්නේ සත්‍යයක් මැයි හැගේ. නමුත්, එහි ඇති සත්‍යයක් නැතැයි නොතේරේ. සැබෑ නත්තල් ගසකට වඩා මනහරව නිර්මාණය කළ ප්ලාස්ටික් නත්තල් ගසක් ලස්සන යැයි කියමින් වැළදගනියි. කාමුක චිත්‍රපටයක හෝ නිල් චිත්‍රපට ලෙස සමාජය විසින් කොන කොට ඇති නමුත්, නැරඹීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ ප්‍රවණතාවක් ඇති චිත්‍රපටයන්ගේ දර්ශන, යථාර්ථ ලිංගික හැසිරීමකට වඩා ඉදිරියෙන් සිටියි. යථාර්ථ ප්‍රජනනයට වඩා මෙහි ඇති ප්‍රජනනය වඩාත් ප්‍රමෝදයක් ගෙන දෙයි. නමුත්, මෙවැනි කාමුක වින්දනයක් ලබා දෙන සැබෑ සහකාරියන් පොදු සමාජයේ නොපවතියි. නොසිටියි. මෙතැන මැවෙමින් තිබෙන්නේ අධියථාර්ථයකි. මෙහි සත්‍යයක් ද නැත්තේම නැත. නමුත්, මෙහි අසත්‍යයක් ද නැත්තේම නැත. මෙතැන ඇත්තේ, අධියථාර්ථයකි.

පශ්චාත්නූතනවාදයට අනුව, මිනිසා යනු භාෂාත්මක නිර්මාණයකි. මිනිසාගේ පැවැත්ම හා මිනිසාගේ හැසිරීම හෝ සම්පූර්ණයෙන්ම පාහේ මිනිසා කවුරුන් වන්නේ ද යන්න තීරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ භාෂාව මතයි. මේ අනුව, මිනිසාගේ භාෂාව කුමක් ද යන භාහිර සාධකය මත මිනිසාගේ සියල්ල තීරණය වේ. අද වන විට අප සිංහල කතා කරමින් සිටින නිසා, රට බෙදා වෙන් කළ නොයුතු බවත් - එල්. ටී. ටී. ඊ. යනු වර්ගවාදී ත්‍රස්තවාදීන් යැයි කියයි. නමුත්, අප දෙමළ බස කථා කරමින් සිටි ඔවුනට පක්ෂපාතීත්වයක් දැක්වූයේ නම්, එය දෙමළ විමුක්ති ජන අරගලයක් ලෙස අර්ථ ගන්වනු ඇත. එසේම, පලස්ථීනය වෙනම රටක් ලෙස පිළිගත යුතුද නැතිද යන කරුණේදී ඊට පක්ෂ වනවා ද නැති ද යන කරුණ තීරණය වන්නේ කතෝලිකභාවය හෝ යුදෙව්භාවය වෙනුවෙන් දක්වන නැඹුරුව මතයි. එහෙයින්, මිනිසා යනු භාෂා නිර්මිත සත්වයෙකු යැයි කියන්නේ, භාෂාව පමණක් නොව සෙසු භේදයන් මත ද බලපෑම් මත ද එය තීරණය වන නිසයි. ඔසාමා බින් ලේඩාන් ඝාතනය කිරීම, ලෝක ත්‍රස්තනායකයකු ඝාතනය කිරීමක් යැයි ඔබාමා පවසන විට ඔසාමා යනු සිය ආගමික න්‍යායන් අනුව යුධ වැදීමට උත්සාහ කළ එකෙක් බවත් එය ආගමට පටහැණි නොවන බවත් උසාමා නම් මගේ මිතුරකු කියා සිටින්නේත්, පශ්චාත්නූතවාදීන් විසින් හදුන්වනු ලබන - මිනිසා යනු භාෂාත්මක නිර්මිතයක් - යැයි කියන සිද්ධාන්තය සත්‍යයක් වන බවයි. නමුත්, පොදු ආඛ්‍යානය කියා සිටින්නේ, මිනිසා භාෂා නිර්මාණයක් නොව - භාෂාව මිනිසාගේ නිර්මාණයක් බවයි. නමුත්, ඊට අදාල සරලව ප්‍රශ්න කිරීම මෙසේයි, භාෂාව මිනිසාගේ නිර්මාණයක් නම් - භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අප එකිනෙකා විසින් සිදු කොට ඇති කෙන්ගෙඩිය කුමක් ද. එසේ වුවත්, භාෂාව විසින් මිනිසා නිර්මාණය කළ බව සාමාන්‍ය මිනිසාට පවා වැටහේ.

මෙහි දෙවැනි කොටස පසුව ලිවීමට අදහස් කරමි. උක්ත කරුණු 4 පිළිබද ගැඹුරින් හදාරණු පිණිස ආරාධනා කරමි. පශ්චාත්නූතනවාදය යනු පිස්සු විකාරයක් ලෙස හදුන්වන්නට පෙර පශ්චාත්නූතනවාදය පිළිබද හදාරන්න යැයි ආරාධනා කරමි.

මතු සබැදේ...

Saturday, July 23, 2011

මම ඡන්දය නොදීමට තීරණය කළෙමි - පුද්ගලික පැහැදිලි කිරීමක්

විවිධ හේතූන් නිසා මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ඡන්ද විමසීම් කල් ගියේය. එහෙයින්, එම පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද විමසීම ජූලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය විය. ඒ අනුව, අද එම මැතිවරණය පැවැත්වෙයි. මා උපන් - මගේ නම හිමි ඡන්ද හිමි නාමලේඛනය හිමි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ද ජූලි 23 වෙනිදා පැවැත්වීමට නියම විය. නමුත්, යොදාගත් පරිදි අදාල මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොකර සිටීමට ම විසින් තීරණය කළෙමි. ම විසින් ඡන්දය නොදී සිටීම පොදු සමාජය කෙරෙහි එතරම් වැදගත් සිද්ධියක් නොවූව ද ඒ වෙනුවෙන් වන මාගේ පදනම නිර්මාණය වීමට හේතු වූ සිද්ධි අධ්‍යයනය පැහැදිලි කිරීම මගේ යුතුකමක් යැයි විශ්වාස කළෙමි. එහයින්, අදාල සාධාරණීකරණය වැඩිදුර කියවීමට ම විසින් මෙය වේදිකාවක් කර ගතිමි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව, නීති සෑදීමේ හා පාලනයේ කටයුතු වෙනුවෙන් ඍජු මා වෙනුවට ම විසින් පත් කර යවනු ලබන නියෝජිතයින් මගින් නීති සෑදීම හා පාලනයේ යෙදීම පිණිස නියෝජිතයින් තෝරා පත් කර යැවීම ආරම්භ වන්නේ, පවුර රාජ්‍යය සංකල්පයේ සංශෝදිත දියුණු ක්‍රමය ලෙසයි. ඒ අනුව, සෑම කටයුත්තක් වෙනුවෙන්ම මා වෙනුවට මගේ අභිමතාර්ථ හා අරමුණු ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතයින් ම විසින් තෝරා පත් කර යැවීම ආරම්භ විය. අද වන විට මැතිවරණ පවත්වමින් සිදු කරමින් සිටින්නේ - මා වෙනුවට මගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීම නැමති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමයයි. තවත් පැත්තකින් මෙම මැතිවරණ ක්‍රමයන් මගින් සනාථ කර සිටින්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයි.

දැන් ම විසින් නියෝජිත ප්‍රජාතන්තුවාදයේ වරප්‍රසාද භුක්ති නොවීදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනිමින්, මා සතු පරමාධිපත්‍යය කොටහ පූර්ණය නොකරගනු ලබන්නේ ඇයි දැයි කියා ම විසින් ම විමසිය යුතු වෙයි.

මෙවර පළෘත් පාලන ආයතනය වෙනුවෙන් මගේ නියෝජිතයා තෝරා පත් කර ගැනීම පිණිස දේශපාලන පක්ෂ හතරකින් හා ස්වාදීන කණ්ඩායම් දෙකකින් නම් යෝජනා කොට ඇත. එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ලංකා මහසභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයි. මෙම පක්ෂ මගින් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මගේ කිසිදු පැහැදීමක් නැත. ඉන් සමහර දෙනෙක් පෙර ප්‍රාෙද්ශීය සභාවේ මතන්ත්‍රීවරුන්ය. සමහර දෙනෙක් නවකයින්ය. පෙර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රීවරුන් හට නැවත ඡන්දයකට ඉදිරිපත් වීමට තරම් කිසිදු මානුෂික අයිතිවාසිකම් නොවන්නේය යන බැව් එක හෙළා කියමි. ආණ්ඩු බලය හිමි කර ගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බල ප්‍රෙද්ශය වෙනුවෙන් අබමල් රේණුවකුදු වැඩක් කොට නැති බැව් වගකීමෙන් කියමි. ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා හෝ මධ්‍යම රජය විසින් කරනු ලැබ හා කරමින් සිටින කාර්යයන් සදහා තම අයිතිවාසිකම ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම පමණයි. පොල්ගහවෙල බස් නැවතුම් පොළ හෝ දුම්රිය පොළ යනු අභාවයට යමින් තිබෙන පැරණි රදල වලව් වැනිය. වසර ගණනාවකින් පිළිසකර නොකරන ලද හා එසේ කිරීමට හීනයෙන් හෝ නොසිතුනු තැන් දෙකකි. පොල්ගහවෙල පොදු මහජන පොළ බල්ලෙකුට උව කෑමට යමක් අහුලා ගැනීමට තරම් පිරියක් ඇති නොකරන මඩ ගොහොරුවකි. බල ප්‍රදේශයේ කුඩා මාර්ග හා වෙනත් පහසුකම් ද ඊට නෙදෙවෙනි වෙයි. යමක් කර තිබේනම් ඒ මධ්‍යම රජය විසිනි. නමුත්, එසේ හැදින්විය හැකි කරනු ලැබූ දැනෙන වැඩක් පොල්ගහවෙලට නොවන්නේය.

මා ගොඩයෙක් බව පෙර තැනකදී කියා ඇත්තෙමි. යළිදු කියමි. මම ගොඩයෙක්මි. මගේ ගම පිහිටා ඇත්තේ - පොල්ගහවෙල නරයෙන්ද යම් ප්‍රමාණයක් දුරිණි. අපේ ගමට යාම පිණිස කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝමීටර් තුනක දුරක් යා යුතුව තිබේ. ඒ මුළු දුරම - අපේ ගමේ බොහෝ දෙනෙක් ගෙවා දමන්නේ පයින්මය. එම මාර්ගයේ මුළු දුර කිලෝමීටර හයකි. ඇතැම්හු දිනපතා කාර්යයන් සදහා මෙම කිලෝමීටර හයම පවා පයින්ම ගමන් කරයි. නමුත්, අපේ ගමට අවසන් වරට පොදු ප්‍රවාහන සේවයක් මගින් ප්‍රවාහන පහසුකම් සපයනු ලැබ ඇත්තේ මින් වසර 25 කට පෙරයි. එනම්, සුනිල් රංජන් ජයකොඩි නැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොල්ගහවෙල නියෝජනය කරන සමයේයි. ඉනික්බිති කිසිවෙක් පොල්ගහවෙල නියෝජනය නොකළ අතර - සෙස්සෝ සියලු දෙනා ඡන්ද කාලයේදී පැමිණෙන සෙසු කාලයන්හිදි ඉන්නා තැනක් වත් නොදන්නා පතෝල චරිත විය. මංගල රණරාජා, අනුරුද්ධ ජයවර්ධන, ලයනල් රාජපක්ෂ, ටිකිරි අධිකාරි ඉන් සමහරෙකි. එහෙයින්, මගේ ගම දෙස ඇසක් වත් හැර නොබැලූවෙකු වෙනුවෙන් ම විසින් ඡන්දයක් දිය යුත්තේ ඇයි දැයි මම මගෙන් ප්‍රශ්න කරමි. ‘වැඩ කිරීම‘ යනු මගේ ගම පමණක් නොවන්නේද යැයි අයෙක් ප්‍රශ්න කළ හැක. යමෙක් මගේ හෝ මගේ ගමේ මිනිසුන්ගේ නියෝජිතියකු වන්නේ නම්, ඔහු විසින් මගේ සහ මගේ ගමේ මිනිසුන්ගේ අරමුණු සහ අභිමථාර්ථ සැපිරිය යුතුය යන සරල තර්කයේ සිට මම මෙසේ කියමි. එහි ගැඹුරු අදහස ද එයම වෙයි.

දැන් ම විසින් සෙසු පක්ෂ කෙරෙහි මගේ ඡන්දය නොදීමට හේතු කියමි. ම විසින් ගෙවී මැතිවරණ තුනකදී ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ තුනකට බැව් කියමි. පළමුව එක්සත් ජාතික පක්ෂයටත්, ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයෙකුටත්, මහා මැතිවරණයේදී ඒ දෙකෙන්ම වියුක්ත වූ වෙනත් පක්ෂයකටත් ඡන්දය දුනිමි. ඒවායින්, නියෝජිතයෝ පත් විණි. නමුත්, කොළඹදී හදිසියකදී හමු වුවහොත් හැරෙන්නට ඒ කිසිදු අපේක්ෂකයෙක් මට ගමේදී හමු වී නැත. අඩුම තරමේ අපේ ගමේ වෙන කාට හෝ හමු වී නැත. ඡන්ද කාලයේදී ගම පීරණ ඔවුන් සෙවීමට ඡන්දයෙන් පසු රටම පීරිය යුතුව තිබේ. පොල්ගහවෙල ආසනය භාරව සිටි ප්‍රධාන පක්ෂ තුනේ සාමාජිකයින් අතරින් ගමට නිකමට හෝ පැමිණියේ බිමල් රත්නායක පමණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රාෙද්ශීය සභාවේ අසුන් ගෙන සිටිමින් කළ දෙයක් පිළිබද කිසිදු අදහසක් මට නැත. පළාත් සභා පිහිටුවීමේදී දිවිහිමියෙන් විරුද්ධ වූ ජ.වි.පෙ. 2009 දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය. එය සාධාරණීකරණය කිරීම ජ.වි.පෙ. සාමාන්‍ය සිරිතයි. එහෙයින්, ඔවුන් විසින් එක් ස්ථාවරයක නොසිටින්නේය යන අදහස පමණක් දැන් හැගේ. සාමාන්‍ය විපක්ෂයකින් ඉටුවිය යුතු කාර්යය පොල්ගහවෙල ප්‍රාෙද්ශීය සභාවේ විපක්ෂය වූ එ.ජා.ප.යෙන් හෝ ජ.වි.පෙ.න් සිදුව නැත. ආණ්ඩුවකින් විය යුතු කාර්යය කිසිසේත්ම ඉටු වී නැත. ඔවුන් ගොඩ යාමට උත්සාහ දරන්නේ ජනාධිපතිවරයාගේ හෝ මධ්‍යම ආණ්ඩුවේ එල්ලීගෙනය.

එහෙයින්, අවසන ලියමි. කොළඹ සිට දුරගෙවාගෙන ගොස් මගේ ඡන්ද අයිතිය භුක්ති විදීමට මා පොළඹවනු ලබන තරම් සිද්ධියක් පසුගිය වසර පහේදී මගේ ගම අයිති සභාව විසින් ඉටු කොට නැත. කොළඹට වී වැඩක් බලාගැනීමට තීරණය කළෙමි. මා ඡන්දය දීමට ගෙදර නොපැමිණිම නිසා මගේ අම්මා සහ අප්පච්චී ද ඡන්දය දීමට උනන්දු නොවෙයි. මන්දයත්, “ගෙදර පොඩි එකාගෙ ඉල්ලීමට ඡන්දය දෙන දෙමව්පියන්“ වන මගේ දෙමව්පියන්, යම් මොහොතක ම විසින් ඡන්දය වර්ජනය කරන්නේ ද එම පිළිවෙතම ක්‍රියා කිරීමට නොපැකිළෙයි. මම කැපුවත් කොළ - කැපුවත් රතු හෝ කැපුවත් නිල් නොවෙමි. ඔබට විටක මා ‘වැනෙන එකෙක්‘ යැයි කියා සිටිය හැක. නමුත්, මා දන්නා තරමින් - රටේ දේශපාලන යාන්ත්‍රණයට වඩා තීරණාත්මක වන්නේ වැණෙන ඡන්දයි. මන්දයත්, කැපුවත් කොළ - නිල් හෝ රතු වුන් සැමදා එම පක්ෂ වල සිටිද්දී ආණ්ඩු පිහිටීම තීරණය කරනු ලබන්නේ මෙම තීරණාත්මක ඡන්ද විසිනි. නමුත්, මෙවර මැතිවරණයේදී ආණ්ඩුව මාරු කිරීමට - වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ආණ්ඩුව පෙරළීමට තරම් හේතුවක් මම නොදකිමි. එයට හේතුව, මේ ආණ්ඩුව සර්ව සම්පූර්ණ යැයි මා සිතා සිටිනවා කියන මුලාව නිසා නොවේ. මේ ආණ්ඩුව පෙරළා ගෙන ඒමට තරම් විකල්ප ආණ්ඩුවක් පෙණෙන මානයකවත් නොවීමයි. එහෙයින්, කැහි ගෑණි දී - හොටු ගෑණි ගන්නවාට වඩා ඉන්නා කැහි ගෑණිම ඔහේ ඉන්නට හැරීම සුදුසු වෙයි. සජිත්ගේ හා රනිල්ගේ එ.ජා.පය හෝ සෝමවංශ සහෝදරයාගේ ජ.වි.පෙ. ආදේශකයක් වීමට තරම් නොවන්නේය. යම් මෙහොතක එසේ වුවහොත්, විදේශයක සිට හෝ පැමිණ අදාල ආදේශකය වෙනුවෙන් ඡන්දය දීමට මම සූදානම් බව ද කියමි.

පසුව ලියමි - මගේ සහ මගේ පවුලේ අයගේ ඡන්ද පත්‍රිකා මගේ ගෙදර සුරක්ෂිතව ඇත. කාට හෝ අවශ්‍ය නම් මගේ එක ඉල්ලාගෙන ගොස් හොර ඡන්දයක් දමන්න. අනිත් අයගේ කැමැත්ත විමසා ඒවා ද ඉල්ලාගෙන යන්න. අනිත් අය අකමැතිනම්, මගේ ඡන්ද පත්‍රිකාව ඉල්ලාගෙන ගොස් රිසි සේ ඡන්දය දමා ගන්න. යළිදු ලියමි - කැහි ගෑණි දී - හොටු ගෑණි ගන්නවාට වඩා ඉන්නා කැහි ගෑණිම ඔහේ ඉන්නට හැරීමට තීරණය කළ හෙයින් - ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළෙමි. ආණ්ඩුව මාරු කළ යුතුයැයි හැගෙන යම් මොහොතක් එන තුරු යළිත් ඡන්දයක් දීමට නොයමි.

ඔබේ ඡන්දය කල්පනාකාරීව ප්‍රකාශ කරන්න.

Saturday, July 16, 2011

Facebook වෙත තහනම් නියෝග


අද වන විට Facebook සමාජ වෙබ් අඩවිය, සමාජ වෙබ් අඩවියක සිට ඉන් එහා ගිය සමාජ අත්‍යාවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන්නේ යැයි හැගේ. Facebook සබදතාවක් නැති යෞවනයෙකු යනු, යාවත්කාලීන නොවන - හෝ යුගකාලීන මිනිසෙකු නොවන්නේයැයි අර්ථ ගැන්වෙන තත්ත්වයට පත්ව තිබෙන්නාක් වැනිය. දැන් අප විසින්, Facebook යම් ප්‍රමාණයකට කියවා ගත යුතුව ඇති කාලයක මෙන්ම, ඒ වෙනුවෙන් ඉස්මතු වෙමින් පවත්නා විකල්ප ආදේශකයන් පිළිබදව ද කතා කළ යුතුව ඇති තැනක සිටිමු.

2004 වසරේ දිනක - යම් ප්‍රමාණයක අහම්බයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වුණු Facebook සමාජ වෙබ් අඩවිය ලෝකය පුරා පැතිර යාමට ගත වූයේ වසර පහකටත් අඩු කාලයකි. එසේ හෙයින්, අදාල තත්ත්වයෙන්ම Facebook යනු මුළුමහත් ලෝකයේම අවශ්‍යතාවයක් පූර්ණය කරනු ලැබූ පූරකයක් යැයි තරක කළ හැකිව ඇත. ආරම්භයේදී, Facebook යනු සමාජ වෙබ් අඩවියක් මෙසේ විය යුතු යැයි ප්‍රතිභාවයක් පවා නැති මෙහොතක අදාල ප්‍රතිභාවය නිර්මාණය කරගනිමින් ඒ සදහා උදාහරණ සැපයූවේය. කාලයත් සමග වෙනත් සමාජ වෙබ් අඩවි ද Facebook ප්‍රතිභාවය හෙවත් ඔරිජිනල් එක කරගනිමින් බිහි විය. අද වන විට ගූග්ල් සමාගම විසින් නිර්මාණය කොට ඇති සමාජ වෙබ් අඩවිය පවා ආකෘතිමය ප්‍රතිභව කොට ගෙන ඇත්තේ Facebook බව නොරහසකි. එහෙයින්, Facebook යනු - යම් ප්‍රමාණයක සුවිශේෂී පෙරගමන්කරුවෙකු වූ බව ද නොරහසකි. Facebook යනු යුගකාලීන අවශ්‍යතාවයක් සපුරණු ලැබූ සමාජ වෙබ් අඩවියක් හෝ එය පුරෝගාමී වූයේ යැයි සදහන් කිරීම Facebook වෙනුවෙන් කඩේ යාමක් බවට ලඝු කර නොගනීවි යැයි පූර්වානුමාන කරමි. ඒ කෙසේ ද යත්, Facebook එසේ වූ බව පිළිගැනීමට අපට සිදුව ඇති හෙයිනි.

දැන් අප විසින් කියවා ගත යුතුව ඇති තවත් අන්තයක් ඇත. අද වන විට, Facebook සමාජ වෙබ් අඩවිය විත්තිකරු හෝ වගඋත්තරකරු කරමින් පණවමින් සිටිනු ලබන නඩු ප්‍රමාණය දිනෙන්න දින ඉහළ යමින් තිබේ. එය ලංකාව වැනි කුඩා රටවල හෝ සිද්ධි පිටුපස වැඩියෙන් පන්නනු නොලබන රටවල් විසින් නඩු කටයුත්තක් දක්වා දීර්ඝ නොකරගත් අවස්ථා වැඩි වුව ද ඇතැම් රටවලදී ඒ තත්ත්වය ලංකාවට වඩා බොහෝ සෙයින් වෙනස් වෙයි. Facebook වෙනුවෙන් පළමු නඩුව පැවරී ඇත්තේ, සිය සේවා සහායකයා හෙවත් ෂුකර්බර්ග්ගේ ගමන් සගයාගේ බුද්ධිමය දේපළ Facebook නිර්මාණයේදී සොරාගෙන ඇති බවට වන චෝදනාව නගමිනි. නමුත්, සෙන් ෆ්‍රැන්සිස්කෝ අධිකරණය විසින් ඒ වෙනුවෙන් ඒ තරම් බරපතල නොවන වන්දියක් ගෙවීමට නියම කරමින් නඩුව අවසන් කළේය. Facebook යනු මේ වන විට ලෝකයේ සිදු වූ මිනීමැරුම් කිහිපයකට සාක්ෂිකරුවකු වූ සමාජ වෙබ් අඩවියක් වී තිබේ. Facebook පාදක කරගනිමින් ඇති වූ යම් සිද්ධි නිර්මාණයන් ඇතැම් මිනීමැරුම් වෙනුවෙන් ඍජුවම බලපෑවේ යැයි කියූ අවස්ථා ද කිහිපයක් තිබේ. පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වන සුරක්ෂිතතාවය, අනන්‍යතාවය හා ව්‍යාජ පෙනී සිටීම් වැනි සිද්ධීන් කිහිපයක් Facebook කෙරෙහි අවධානය යොමූ වූ තැන් හෝ මාතෘකා අතර වෙයි.

මේ වන විට Facebook යනු සමාජ වෙබ් අඩවියක් පමණක් නොව. ප්‍රවෘත්ති වෙබ් අඩවියක්, විනෝදාස්වාශී වෙබ් අඩවියක් සේම දැනුම බෙදීමේ කාර්යයයේ නියුතු වෙබ් අඩවියක් බවට ද පත්ව තිබේ. දේශාපාලනික වශයෙන් තීරණාත්මක අවධියක් ද Facebook විසින් හිමි කරගෙන තිබේ. ඒ සදහා ඉතා වැදගත් නිදසුන වන්නේ, 2008 ඇමරිකානු ජනාධිපතිවරණ සටනයි. බැරැක් ඔබාමා විසින් සිය ප්‍රචාරණ යාන්ත්‍රණයේදී Facebook හරහා සිය ජනප්‍රියත්වය වර්ධනය කිරීම පිණිස වෙන් වූ කණ්ඩායමක් යොදවා තිබූ බව කියැවේ.

අද වන විට විවිධ පදනම් හේතු කොට ගනිමින්, මහජන චීනය-සිරියාව-බංග්ලාදේශය-වියට්නාමය-ඉරානය-උසබෙගිස්ථානය හා පාකිස්ථානය Facebook තම රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇත. ඒ සදහා ප්‍රෙව්ශවීම රජය විසින් ම තහනම් කරනු ලැබ ඇත. ආරාධනා නොකරනු ලබන පුද්ගලයින් වැඩි වශයෙන් පුද්ගලික උත්සව අවස්ථා වලට සහභාගී වීම වැඩි වීම කෙරෙහි Facebook බලපානු ලබන්නේ යැයි කියමින් ජර්මනිය තුළ Facebook තහනම් කරනු ලැබීමට හෝ සීමා කිරීමට ඇති හැකියාව පිලිබද සොයා බැලීමට ජර්මන් රජය විසින් වර්ෂ 2007 දී විශේෂ කමිටුවක් පවා පත් කොට ඇත. නමුත්, මේ වන විට Facebook යනු ලෝක ප්‍රසිද්ධ ඇමරිකන් අයිඩ්ල්, තෘ බ්ලඩ් හා ටොප් ගියර් වැනි වැඩසටහන් වල ප්‍රමුඛ ප්‍රචාරකයෙකි. ලෝකයේ එසේ පමණක් නොව, දේශභ්‍යන්තරිකව පවා එවැනි තත්ත්වයන් ඕනෑතරම් දක්නට ඇත. නමුත්, තවත් ප්‍රවණතාවක් Facebook හා බැදී පවතියි. අද වන විට ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද කාර්යාල තුළ Facebook වෙබ් අඩවියේ ප්‍රෙව්ශ පහසුකම් කප්පාදු කරනු ලැබ ඇත්තේ, සේවකයින්ගේ කාලය Facebook සමග මිඩංගු කිරීම නිෂ්පාදන හා සේවා කටයුතු වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් කරනු ලැබ ඇති හෙයිනි.

මේ වන විට Facebook වෙනුවෙන් තීරණාත්මක තවත් නඩුවක් පැවරී තිබේ. මෙම නඩු තීන්දුව Facebook වෙබ් අඩවියේ අනාගතය තීරණය කිරීම කෙරෙහි වැඩි බලපෑමක් කරනු ලබතැයි විශ්වාස කෙරේ. Facebook තහනම් කිරීමට හෝ කෙටි කාලීන අත්හිටුවීමකට පවා යොමු විය හැකි තත්ත්වයක් උතගතව තිබේ. එසේ කළ නොහැකි යැයි යම් ආකාරයකින් විශ්වාස කළ නොහැක. වසර 150කටත් වඩා පැරණි බ්‍රිතාන්‍ය පුවත්පතක් වූ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්‘ පුවත් පත පවා තහනම් කිරීම කෙරෙහි අධිකරණය විසින් දෙවරක් නොසිතුවේය. ඔප්පුකරනු ලැබූ විශම පැවැත්ම හේතුවෙන් අද වන විට එය ඉතිහාසයේ මුද්‍රණය වූ පසුව තහනම් කරනු ලැබූ පුවත්පතක් බවට පත්ව තිබේ. Facebook කෙරෙහිද මෙම තත්ත්වය උදා විය හැකි තැනක තිබේ.

Facebook වෙබ් අඩවිය අවධානමකට ලක් විය හැකි තවත් තත්ත්වයක් මෑතකදී නිර්මාණය විය. ලෝකයේ ප්‍රධානතම ‘සෙවුම් උපකාරකය‘ වන ගූගල් සමාගම විසින් ඔවුන්ගේම සමාජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටියි. එහෙයින්, යම් අවස්ථාවක Facebook යනු තමන්ගේ නිෂ්පාදනය කෙරෙහි අවධානයමක් හෝ අභියෝගයක් වන්නේ යැයි ගූගල් සමාගම විසින් තීරණය කරනු ලැබුවහොත් Facebook තම සෙවුම් උපකාරකයෙන් ඉවත් කිරීමට ඔවුන් නොපැකිලෙණු ඇත. එවන් තත්ත්වයකදී, Facebook යනු ප්‍රෙව්ශවීමේ පහසුකම් දුර්වල වූ වෙබ් අඩවියක් වනවා නොඅනුමානය.

අවසන ලියමි. Facebook වෙත තහනම් නියෝග අත් වීමේ ඉතාම අත්‍යාසන්න අවස්ථාවක අප සිටින්නේ යැයි හැගෙමින් තිබේ. එසේ කරනු ලැබීමට, ඕනෑවටත් වඩා හේතු මේ වන විට Facebook විසින් නිර්මාණය කොට දී තිබේ. නමුත්, Facebook යනු ගෝලීයකරණ ප්‍රයත්නයේදී වැඩිම දායකත්වයක් දැක්වූ වෙබ් අඩවිය හා සමාජය බවට ඉතිහාසයේ ලියවෙනවා ද නොඅනුමානය. මන්දයත්, ප්‍රතිපත්ති වලට පමණක් සීමා වී තිබූ ගෝලීයකරණ අපේක්ෂාවන් සිහිනයක සිට යථාර්ථයක් දක්වා රැගෙන යනු ලැබූයේ Facebook විසින් බව නොබියව කියමි.

Monday, July 11, 2011

නීතිය වල්-වදියි - කැලෑ නීතිය රජයයි ( ද? )

වේලාව පස්වරු පහ පසුවී විනාඩි හතලිස් පහක් හෝ ඒ ආසන්න කාලයකි. ස්ථානය, කඩුවෙල - ලෝ ලෙවල් පාරේ කාගීල්ස් ෆුඩ් සිටිය ඉදිරිපිට. කොමර්ෂල් බැංකුව හා ටීක් ගාඩ්න් නම් තානායමක් පිහිටා ඇත්තේ ද ඒ ආසන්නයේය. පුද්ගලික කටයුත්තක් වෙනුවෙන් තවත් සගයින් කිහිප දෙනෙක් සමග, කාගීල්ස් ෆුඩ් සිටිය වෙත යමින් සිටියෙමි. ඒ ආසන්නයේ මහත් කලබැගෑණියක සිරියක් තිබූ හෙයින් අප ද සෙනග පීරමින් එහි ලගා වීමු. අප එහි යන විට එම ස්ථානයේ ලෝ ලෙවල් ප්‍රධාන මාර්ගයේ සියයකට අධික පිරිසක් රැස්වී සිටියේය. කිසිදු පොලිස් නිළධාරීයකු එහි නොවීය. පාරේ වාහන තදබදයකි. තවද කිට්ටු කළෙමු. දක්නට ලැබුණේ අශෝභන දර්ශනයකි. YD 4462, QI 0497, HL 0745 සහ TQ 7377 යන යතුරු පැදි හා ත්‍රීරෝදරථ කිහපයක්, “මහ පාරේ වීල් කරමින්“ සිටියි. මෙය මාර්ග තදබදයක් ඇති කළා සේම, පාරේ යමින් සිටි සාමාන්‍ය වැසියන් හා වාහන දැඩි අපහසුතාවකට ලක් කළේය.

උක්ත කාර්ය බහුල වේලාවේ ලෝ ලෙවල් පාරේ පිරිසක් විසින් නටමින් සිටි නාඩගම හෙවත් “වීල් කිරීමේ සංදර්ශනය“ ආසන්නයේ කිසිදු පොලිස් නිළධාරියෙක් නොවීය. ආසන්නයේ සිටි පුද්ගලයකුගෙන් ඇසූ විට කියා සිටියේ මෙම නොහොබිනා සංදර්ශනය පැය භාගයකටත් වැඩි කාලයක සිට කරමින් සිටින බවයි. යම් කටයුත්තක් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකොට ඔවුන් වෙත දෝෂාරෝපණය කිරීම නොවටිනා නිසා, අදාල නීති විරෝධී නොහොබිනා කටයුත්ත සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට පුද්ගලිකවම මැදිහත් විය. 2011 ජූලි 10 වෙනිදා ඉරිදා, පැය 17.45 ට නවගමුව පොලිස් ස්ථානය ඇමතීමි. නමුත් එම දුරකථනය කාර්ය බහුල විය. පසුව පැය 17.47 ට 119 දුරකථන අංකයෙන් හදිසි පොලිස් තොරතුරු මැදිරිය අමතමින් සිද්ධිය පිළිබද, මගේ අනන්‍යතාවය හෙළිදරව් කරනු ලැබූ පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඔවුන් මා විමසා සියලු තොරතුරු විමසීය. මා ඔවුන් දැනුවත් කළෙමි. අප එහි ද පැය භාගයක කාලයක් සංදර්ශනයේ නොහොබිනා ආතල් එක විදිමින් සිටියෙමු. මාර්ග තදබදය වැඩි වුව ද සැණකෙළිය සදහා තව තව අයත් එක් වුව ද පොලීසිය එහි නො ආවේය. නවගමුව පොලිස් ස්ථානයේ සිට සාමාන්‍ය වාහනයක් එහි පැමිණීමට විනාඩි විස්සක උපරිම කාලයක් ප්‍රමාණවත් වෙයි. (මේ සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ පට සාක්ෂි වශයෙන් පුද්ගලිකව මා සතුවත්, පොදුවේ අපේ කණ්ඩායමේ සෙසු සගයින් සතුවත් පවතියි.)

කිසිවෙක් විසින් “වීල් කිරීමේ“ ආතල් එක ගත්තාට අපිට ඇති කැසිල්ලක් නැති බැව් මෙහිලා මුලින්ම කිව යුතු වෙයි. නමුත් මෙහි අප විසින් කියවා ගත යතු දේ කිහිපයක් ඇත. ඒ ශ්‍රේණියේ මාර්ගයක - වැඩියෙන්ම වාහන ගමන් කරමින් සිටින සවස පහ හෝ ඊට ආසන්න කාලයේදී, පුද්ගලික දේපලක සිරි ගනිමින්, ආතල් ගැනීමට හෝ යකා නැටීමට හැකි වන සේ මානසික තත්ත්වය දියුණු කර ගැනීමට තරම්ම අද වන විට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම හා නීතිය හා සාමය සුරැකීමේ ක්‍රියාවලිය “ජෝක් එකක්“ හෝ “ගොන් පාට් එකක්“ වී තිබේ. අප විසින් එය කියවා ගැනීම වටියි.

පොලීසිය වෙත පැමිණිල්ලක් කළ විටෙකදී, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී නීතිය හා සාමය ආරක්ෂා කළ යුතුව තිබෙන අවස්ථාවකකදී හෝ ස්වභාවයෙන්ම එසේ නොකරන තත්ත්වයකට පොලීසිය පත්ව ඇත්තේය යන තක්සේරුව සමාජය විසින් දැනටමත් නිර්මාණය කොට ගෙන හමාරය. එහෙයින්, පොලීසිය කිසිම විටෙක ඉක්මනින් ක්‍රියාත්මක නොවන්නේ යැයි යන මතය ද සමාජයේ සියලු දෙනා සතුව හෝ අතිශය බහුතරය සතුව ඇත. එහෙයින්, කිසිදු බයකින් හෝ සැකයකින් තොරව, ඉර එළිය පවා නැති රාත්‍රියකදී මෙන්ම ඉර මුදුන් වූ මද්දහනකදී ද දවසේ ඕනෑම වේලාවකකදී ද නීතිය හා සාමය කඩ කිරීමට පෙළඹෙයි. උක්ත කඩුවෙල ලෝ ලෙවල් පාරේ ආතල් ගැනීම වෙනුවෙන් එහි සිටි තරුණයින් පෙළඹෙන්නේ නීතිය පිළිබද හා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන තම තක්සේරුව මොනවට කියා පාමිණි. අදාල සිද්ධියෙන් පීඩාවට පත්වන හෝ යම් අගතියකට පත්වන පාර්ශවයන් විසින් ‘ඇග බේරාගෙන මාරු වී යාම‘ට පෙළඹෙන්නේ ද පොලීසියට පැමිණිලි කිරීමකින් පසු අතවන ඉරණම හෝ ක්‍රියාත්මක වීම කෙරෙහි තමන් සතුව ඓතිහාසික අවබෝධයක් ඇති හෙයිනි. පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යාමේදී හෝ එසේ කර සිටීමේදී, පොලීසිය විසින් දක්වනු ලබන ප්‍රතිචාරයන්ගේ සුන්දරත්වය හා විනයානුකූලභාවය කියා පෑම පිණිස, මේ වන විට අදාල මාතෘකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රමාණයේ ඉලක්කමම සෑහේ යැය සිතේ. පොලීසිය ක්‍රියාත්මක නොවීම, යනු නීතිය ක්‍රියාත්මක නොවීම වන්නේ යැයි කියා සිටීම පොදු සමාජයට හෝ සිවිල් සමාජයට පූර්ණ සත්‍යයක් වන්නේය. එහෙයින්, කඩුවෙල ලෝ ලෙවල් පාරේ පමණක් නොව ලංකාවේ සෑම තැනකම පාහේ අපරාධ හා අපරාධ නොවන, නමුත් නීතිය කඩ කිරීම් ප්‍රමාණයේ ඉහළ යාමට වගකිව යුතු වෙයි.

නව පොලිස්පතිවරයා පත් වීමෙන් පසු, ස්ථාන මාරු කිහිපයක් සිදු කොට ඇත. මේ හා සම්බන්ධ තර්ක දෙකක් ඇත. එකක් නම් මැතිවරණයක් ප්‍රකාශ කොට තිබියදී, රාජ්‍ය නිළධාරීන්ගේ ස්ථාන මාරු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට අයිතියක් නැත. එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ඍජු හා වක්‍ර බලපෑමක් ඇති කරයි. එසේම, ස්ථාන මාරු කිරීම් වලින් ඉලංගකෝන් මහතා පෙන්වීමට හෝ කියා පෑමට උත්සාහ කරන්නේ කුමක් ද යන්න කියවා ගත යුතුව ඇත. හිටපු අග විනිසුරු සරත් සිල්වා මහතා විසින් ඇතැම් සිද්ධින්හිදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදෙව්වේය යන නීති විශාරද අදහස් සමාජයේ ඇසෙන සමයක අශෝක සිල්වා මහතා අගවිනිසුරු පදවියට පත්විය. ඔහු විසින් ද හිටපු මුල් අවස්ථා විනිසුරුවරුන් කීප දෙනෙක් ස්ථාන මාරු කළේය. ඒ අවස්ථාවේදී, නීති විශාරදයින් කියා සිටියේ “යමක් කළ බව පෙන්වීම පිණිස“ එවැන්ක් කළා මිස එය විසින් යම් සාධනීය වෙනසක් සිදු නොවූ බවයි. මෙහිලා, ඉලංගකොන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයයි. යමක් කළ බව හා කරමින් සිටින බව පෙන්වීම පිණිස, ස්ථාන මාරු කිහිපයක් සිදු කොට ඇත. නමුත්, පොලීසිය විසින් ඉටු කළ යුතු කාර්යයන් ඉටු කිරීමට පොලඹවන හෝ මෙහෙයවන තරමේ දෙයක් දැනේනට කිරීමක් මේ වන තෙක් සිදු කොට නැත.

යළිත් කඩුවෙල සිද්ධිය දෙස හැරෙන්නෙමි. පාරේ ගමන් කරමින් සිටියදී, යම් හේතුවක් නිසා සුදු තනි ඉරක් හෝ කහ ඉරක් කැපී යාම සිදු වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පොලිස් නිළධාරියා විසින් නියම කරනු ලබන අල්ලස් මුදලක් ලබා දීමට සිදු වීම හෝ ඒ සදහා එකග නොවන්නේ නම් හෝ අදාල පොලිස් නිළධාරියා අදාල අවස්ථාවේ අල්ලස් නොගන්නේ නම් හෝ අල්ලස් නොගන්නේ නම් උසාවි යාමටය. නමුත්, පැමිණිල්ලක් විධිමත් අයුරින් කර සිටි විටකදී පවා, අමු අමුවේ පොදු සමාජයේ ඉදිරියේ වීරත්වය පෙන්වමින්, බීමතින් පාරේ පෙන්වමින් සිටින සැණකෙළි නැවැත්වීමට හෝ ඒවාහි නිරතවන්නන් හට දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලියට අවශ්‍ය විධායක ක්‍රියාව ඉටු කර දීමට පොලීසිය නොපෙළඹෙන්නේ ඇයි. අද වන විට පොලීසිය යනු, ධනය හා බලය ඉදිරියේ දණින් වැටී ධනය හා බලය ලෙවකමින් තෘප්තිමත් කරන තරම් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇතැයි යන සමාජ මතය මෙමගින් සපථ නොකරන්නේ ද. YD 4462, QI 0497, HL 0745 සහ TQ 7377 යන යතුරු පැදි හා ත්‍රීරෝදරථ පාරේ ටික දුරක් තුළ ඉතාම වේගයෙන් ගමන් කරයි. ඉන් පසු, බීමතින් හා පියවි සිහියෙන් සිටි සහචරයන්ගේ ආතල් නාදයන් හමුවේ, පළමු ඉදිරිපස රෝදය ද පසුව පසුපස රෝදය ද ඔසවයි. ඔවුන්ගේ ආතල් එක අවසන් වන තුරු, සෙසු පොදු සා සිවිල් වැසියන් තමන්ගේ ජීවිතයේ ආතල් එක කුඩු කරගනිමින් ලත විය යුතුය. පාරේ වාහන පාලනය කරනු ලබන්නේ ‘වීල් ගැන්සිය‘ විසිනි. ඒ වන විට පාර ඔවුන්ගේ පුද්ගලික භූදලයකටත් වඩා පුද්ගලික වී තිබිණි. සෙසු වාහන පාරේ යා යුත්තේ, ‘වීල් ගැන්සියේ කෙළි සෙල්ලම්‘ මදකට නැවතූ විටදීය. එසේ සංදර්ශනය ඉදිරිපත් කරමින් සිටි බොහෝ දෙනෙක් හිස් වැසුම් හෝ හෙල්ටම් පැළද නොසිටියේය. බීමතින් සිටි බව, මින් පෙර මත්පැන් පානය කොට ඇති හෝ එසේ කර තිබෙන අයෙකු දැක ඇත්තෙකුට පවා පහසුවෙන් හදුනා ගත හැකි වෙයි. පොලීසිය විහිළුවක් වී සිටි මොවුන් - පොලීසිය එතැනට පැමිණේ හෝ එමගින් පොදු ජනතාවට බාධාවක් ඇති වේය යන ලැජ්ජාව හෝ ඔවුන් සතුව නොවීය. මෙය පොදු සමාජය තුළ මහත් ඛේදවාචකයකි.

දැන් අතිරේඛ යමක් කියවා ගත යුතු වන්නේ යැයි සිතුවෙමි. මෙය නම් මැතිවරණ කාලයයි. අභිනව කඩුවෙල නගර සභාව වෙනුවෙන් ද ඡන්දය පවත්වයි. මෙතැන වීල් කරමින් සිටියේ කඩුවෙල “වීල් පාක් එකේ කොල්ලෝ“ය. එහෙයින්, ඡන්දයක් වෙනුවෙන් මෙවැනි සමාජ අතිශය වැදගත් වෙයි. යම් හෙයකින්, මොවුන් විසින් මෙම නීති උල්ලංඝනය කිරීම කරණකොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ නම්, ඉතාම ඉක්මනින් මැදිහත් වී ඔවුන් නීතිමය විධානයකින් තොරවම නිදහස් කරගැනීමේ අරගලය දියත් කිරීමට දේශපාලන නියෝජිතයින් හෝ ඡන්ද අපේක්ෂකයින් මැදිහත් වනු නො අනුමානියි. අවනීතිය රජයන බව දන්නා පොදු සමාජයක් තුළ, එම රැකවරණය පිළිබද විශ්වාසය තබා මෙසේ යකා නැටීම සිදු කරන්නේය යන්න අමුතුවෙන් තේරුම් ගැනීමට තරම් දෙයක් ඇති දෙයක් නොවේ. මොවුන් විසින්, අපරීක්ෂාකාරී ලෙස රිය පදවමින් සිටියි. මොවුන්, හිස් වැසුම් රහිතව යතුරු පැදිවල ගමන් කරයි. අනවශ්‍ය ලෙස මාර්ග තදබදයක් නිර්මාණය කරයි. නීති විරෝධී ලෙස දකුණෙන් වාහන පදවයි. බීමතින් රිය පදවයි. මහජනයාගේ නිදහසට හා පැවැත්මට හානිකර අයුරින් හැසිරෙයි. මෙපමණක් නොව, අනේක විධි නීති උල්ලංඝනය කරයි.

තවද ලියමි. අපේ රට තුළ - කිසිදු පුද්ගලයකු නැතිව හෝ නීතිය බලාත්මක කිරීමෙන් පමණක් සියක් වසරක් හෝ රට පාලනය වන්නට තරම් ප්‍රමාණවත් ප්‍රශස්ත නීති ඇත. නමුත්, වැරැද්ද ඇත්තේ නීතිය තුළ නොවේ. නීතිය කඩ කරන හෝ නීතිවිරෝධී ලෙස හැසිරෙමින් සිටින කල් ගෙවමින් සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ආයතනය වන පොලීසිය යනු විහිළුවක් වී තිබේ. එහෙයින්, නීතිය ද විහිළුවක් වී තිබේ. එසේම, ඕනෑම නීතියක් කඩ කරමින් පොලීසිය විසින් යම් අවස්ථාවක අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙක් වෙනුවෙන් එක්කෝ ඍජුවම දේශපාලනඥයෙක් හෝ අඩුම තරමේ එවරන්නෙකු හදුනන පුද්ගලයෙක් හෝ පෙනී සිටියි. එවිට, නීතිය බල්ලාට දමා දේශපානඥයා දෙයියා කිරීමට සිදු වෙයි. එසේ සිදු වීම දැන් දැන් අකමැත්තෙන් නොව, පොලීසිය විසින් කැමැත්තෙන්ම සිදු කරයි. අනෙක් පැත්තෙන් ගත් කළ, පීඩාවට පත් වන්නෙක් හෝ එවැනි පාර්හවයක් විසින් පීඩාව මගහරවා ගැනීම පිණිස නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට යාම, නීතිය ක්‍රියාත්මක වීමේ පරම පාරිශුද්ධභාවය විසින් ම සීමා කොට තිබේ. 

අද වන විට සියල්ල පොලිස්කරණය වී තිබේ. එහෙයින්, පොලීසිය විසින් පොලීසියට පැවරී ඇති රාජකාරිය මැරයන් වෙත Out-Source කොට ඇත. මැරයන් හා බලසම්බන්නයින් විසින් පොලීසියේ රාජකාරිය ඉටු කරයි. පාරේ නීති තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි. මාර්ගයේ ගමන් කළ යුතු පිළිවෙල නීතිය තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි. එසේ නොවන්නේ නම්, කොළඹ - අවිස්සාවේල්ල හරහා රත්නපුර හා බදුල්ල ලෝ ලෙවල් පාර හරස් කරමින් සවස පහට පමණ හිතුමනාපේ යතුරු පැදි හා ත්‍රීරෝදරථ වීල් කරමින් සැණකෙළි පවත්වන්නේ කෙසේද. පොලීසිය විසින් කරමින් සිටින්නේ, අස්සයා පැණ ගිය පසු ඉස්තාලය වසා දැමීමේ කාර්යයි. එසේ ද නොහැකි වූ විට ඉස්තාලය වසා දැමීම වෙනුවට ඉස්තාලය “වනසා“ දමයි. එවිට, අස්සයෙක් පැණ ගිය බව ඔප්පු කිරීමට ඉස්තාලයක් නැති වෙයි.

පොලිස්පතිවරයා වෙත ලියමි. රට තුළ අසමජ්ජාතිකම් හා මැර ක්‍රියා මෙන්ම රිසි සේ සිදුවන නීති කඩවීම් වෙනුවෙන් මුළුමනින්ම වගකිව යුතුව ඇත්තේ, ඔබ විසින් පසුගිය ජූලි පළමු වනිදා සිට නායකත්වය දෙනු ලබන සහ ඔබ විසින් 1982 දී සහකාර පොලිස් අධිකාරී වරයෙකු ලෙස සේවයට බැදුණු, ශ්‍රී ලංකා පොලීසිය නොවන බව කිව හැකි ද? 

අවසන ලියමි. “මේ නාඩගම් බලනවාට වඩා හොදයි ප්‍රභාකරන්ට හරි යටත් වුනානම්“ කියන පාපකාරී හා පශ්චත්තාපීමය හැගීම සමාජය තුළ රෝපණය වීමෙන් හා පැතිර යාමෙන් වලක්වාගැනීමේ ප්‍රමුඛ වගකීම ඔබ සතු වේ.

video
video

video

video

Saturday, July 9, 2011

මහින්ද දිනුම් - සුඩානය පරාදයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ලොක් සිතියම වෙනස් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය 193 වෙනි සාමාජික රට ලෙස අප්‍රිකානු කලාපයේ රටක් පිළිගත් බව ප්‍රකාශ කළේය. එහි අගනුවර ද පිළිගත්තේය. එහි නායකයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අධිකරණ පද්ධතිය ද ජනාධිපතිවරයා ද පිළිගත්තේය. අප පෙර හදුනා ගෙන සිටි සුඩානය නැමති ඒකීය ස්වාධීන රාජ්‍යය දැන් ලෝක සිතියමේ අපට හමු නොවේ. පෙර සුඩානය පැවති තැන ඇත්තේ උතුරු සුඩානය හා දකුණු සුඩානය නැමති එකිනෙකින් වෙන්ව ගිය රාජ්‍යයන් දෙකකි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම්, සුඩාන භූමි ප්‍රදේශයේ සීමාව අඩු වී එහි දකුණු දෙසින් දකුණු සුඩානය ලෙස නව රාජ්‍යයක් බිහිවී තිබේ. එහි රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා වන්නේ 2005 වසරේ සිට සුඩානයේ උප ජනාධිපතවරයාව සිටි සැල්වා කීර් මයාදිත් නැමැත්තෙකි. ජූබා යනු නව රාජ්‍යෙය් අගනගරයයි. දකුණු සුඩානය ස්වාධීන ස්වෛරී රාජ්‍යක් ලෙස පසුගිය ජූලි 8 වෙනිදා එරට වේලාවෙන් රාත්‍රී 11.45 ට එහි ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. මධ්‍යම රාත්‍රිය උදා වෙත්ම සුඩාන ධජය බිම හෙලා දකුණු සුඩාන ජාතික ධජය ගුවනට එසේව්වේය. මැදියම් රැයේදී සුඩානය විමුක්තිය ලැබීය.

දැන් අප විසින් කියවා ගත යුතු සිද්ධීන් කිහිපයක් ඇත. එකක් සුඩානය - සුඩානය හා දකුණු සුඩානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් වීම දක්වා ගමන් මගයි. අදාල නව රාජ්‍ය පිළිගැනීම සැණකෙළියක තත්ත්වයෙන් මිදී, යථාර්තයේ සිද්ධියක් කියවා ගත යුතුව ඇත. එසේම, අප විසින් තවත් හැදෑරිය යුතු දෙයක් ඇත. එනම්, අද හෝ ඊයේ සුඩානයට වූ දේ අපට සිදු වූ අතීත අවස්ථාවක් ඇත. එසේම, ඊටත් වඩා - ඉතාම ඛේදනීය ලෙස එවැන්නක් විය යුතුව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාවක් ඇත. මේ සිද්ධීන් දෙක ද අප කියවා ගත යුතුව ඇත.

පළමුව මා මෙවැන්නක් කියවමි. ලංකාව රාජධානී සමයක් ගත කරමින් සිටියේය. පසුව, පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් යටත් කරගනු ලදුව, අවසානයේ ද එංගලන්තයට අප යටත් වීමු. 1815 මාර්තු 2 වෙනිදා හෝ ඊට අත්‍යාසන්න දිනකදී ලංකාව විසින් එතෙක් ඔසවමින් සිටි සිංහ කොඩිය වෙනුවට එය බිමට ඇද දමා කතිර කොඩිය අසහට එසෙව් පුවතක් අපි අසා ඇත. ඒ අප විසින් අවිච්ඡින්නව රැගෙන ආ අපේ කොඩිය අපිට අහිමි වූ පළමු අවස්ථාවයි. යළිත් අප (ලාංකිකයින්) විසින් කරනු ලැබූ අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1948 දී අපේ කොඩිය එසවීමේ පූර්ණ හිමි කමක් අපිට හිමි විය. මෙය අප විසින් පමණක් මුහුණ දුන්නක් නොවීම නිසා මෙය මහා ඛේදනීය තත්ත්වයක් නොවන්නේ යැයි කියමි. මන්ද, අපේ නිදහස තීරණය වන්නේ අවට වට පිටාව මතයි. අපට නිදහස අහිමි වන විට - අවට වටපිටාවට ද නිදහස අහිමි වී තිබිණි.

දැන් ම විසින් කියා සිටි ඉතාම ඛේදනීය ලෙස අපේ කොඩිය හෝ එහි වෙණ වැටෙන සීමාව අහිමි විය හැකිව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාව පිළිබද හැදෑරීම පසෙකින් තබා සුඩානය දෙසට හැරෙමු. සුඩානයේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන් සුඩාන මධ්‍යම පාලනය ප්‍රතික්ෂේප කළේය. ඒ 2005 දී පුපුරා ගිය ඉන් වසර කිහිපයකට පෙර උද්ගත වූ සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි. පසුව ඔවුන් විසින් ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ට හිතවත් රාජ්‍යයන් සමග සුහද වී 2005 ජූලි 9 වෙනිදා නිළ නොවන අයුරින් සීමා මායිම් ලකුණු කර ගත්තේය. ඉනිදු පසු ඔවුන් විසින් දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජාත්‍යන්තර තත්ත්වයන් නිර්මාණය කර ගත්තේය. ඒ අතරවාරයේ ඩාෆූර් ප්‍රෙද්ශයේ නොනිමි සටන් දියත් කළේය. දකුණු සුඩානයේ ස්වාධීන හෙවත් ස්වස්ථානික වූ ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගත්තේය. අධිකරණ පද්ධතියක් සකසා ගනිමින් අධිකරණ කටයුතු දියත් කරමින් සිටියේය. සුඩානයේ උප ජනාධිපතිවරයාව සිටිමින් මයාදිත් විසින් දකුණු සුඩානයේ නායකත්වය දියත් කළේය. එහි අතුරු කාර්යයක් ලෙස - දකුණු සුඩානය වෙනුවෙන් ඩයස්පෝරාවක් නිර්මාණය කරගනිමින් ඊට අවශ්‍ය ජාත්‍යන්තර කරුණාව හා අවධානය දිනාගත්තේය. 

සුඩානය දෙකඩ කිරීමට මයාදිත් උත්සාහ කරමින් සිටියදී, ඕමාර් අල් බෂීර් (සුඩාන ජනාධිපති) නිහඩ හා නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළේය. ඩාෆූර් කලාපයේ සටන් වෙනුවෙන් නේටෝව පවා මැදිහත්වන තුරු පාඩුවේ සිටියේය. ජාත්‍යන්තරය තුළ සුඩුනය වෙන් කිරීමට එරෙහි හඩක් නිර්මාණය කරනු වෙනුවට - සුඩානය බෙදිය යුතු වන්නේ යැයි වැනි අදහසක් ස්ථාපනය වන තුරු පාඩුවේ සිටියේය. බෂීර් විසින් යුද්ධයක් කිරීමට හෝ සාර්ථක යුද්ධ උපක්‍රමයක් තුළින් ඩාෆූර් බේරා ගනිමින් පසුව ඒකීය සුඩානය ආරක්ෂා කර ගැනීමට සමර්ථ නොවීය. එහෙයින්, වැඩි වැඩියෙන් මයාදිත් ප්‍රමුඛ සටන්කාමීන් ශක්තිමත් විය. එපමණක් ද නොව - ඔවුන්ගේ සටන ජාත්‍යන්තරය තුළ පවා සනාථ විය. වෙනකක් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා සථාන වීමට ඉඩ සලසා ගත්තේය. එහෙයින්, අද වන විට මයාදිත්ගේ නායකත්වයෙන් යුතු දකුණු සුඩානය බිහි විය.

Salva Kiir Mayardith
සුඩානයේ කතාවේ සාරාංශය එසේ විය. දැන් ම විසින් අපේ කතාව හැදෑරීම අරඹමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් කරනු ලැබූයේ ද මයාදිත් විසින් සුඩානය තුළ දියත් කළ අරගලයමය. මයාදිත් පළමුව, දේශ සීමා වෙන් කර ගත්තේය. ප්‍රභාකරන් ද ඊලමේ දේශසීමා ප්‍රකාශයට පත් කළේය. පසුව, ඔවුන්ගේම කියා ව්‍යවස්ථාදායකයක් හා පාලනයක් ඇති කර ගැනීමට මයාදිත් සමත් විය. ප්‍රභාකරන් විසින් ද නො නිළ ආණ්ඩු පාලනයක් හා ව්‍යවස්ථාදායකයක් දියත් කළේය. අධිකරණ පද්ධතිය ද එසේම ය. ප්‍රභාකරන්ගේ සිහින ඊළම තුළත් මයාදිත්ගේ සිහින දකුණු සුඩානය තුළත් නඩු ඇසීම පිණිස අධිකරණයක් සාදා ගත්තේය. මයාදිත් විසින් සුඩානයේ යහපාලනය බිදීම පිණිස සටන් කළේය. ප්‍රභාකරන් ද එසේමය. බෝම්බ, තර්ජන, පිපිරවීම් වැනි සියල්ල සිදු කළේය. නො නිළ හමුදාවක් ස්ථාපිත කර ගත්තේය. මයාදිත් විසින් ජාත්‍යන්තරය තුළ සිය සිහින දකුණු සුඩානයට තත්ත්වයන් දිනා ගැනීම පිණිස කටයුතු කළ අයුරින්ම - ඇතැම් විට ඊටත් වඩා ප්‍රභාකරන් ජාත්‍යන්තරය තුළ පුබල විය. සිහින ඊළාම් ඩයස්පෝරාව සිහින දකුණු සුඩාන ඩයස්පෝරාවට වඩා ශක්තිමත් විය. රටක පිළිගැනීම දිනා ගැනීම වෙනුවෙන් මයාදිත් ඇමරිකාව මිතුරු කරගත්තේය. ප්‍රභාකරන් විසින් කැනඩාව, ඇමරිකාව හා නෝර්වේ රාජ්‍යයන් ඒ සදහා යොදා ගත්තේය.

ඕමාර් අල් බෂීර් නිදා සිටියේය. ලංකාවේ ද ජේ.ආර්. ගේ සිට ප්‍රේමදාස, ඩී.බී., චන්ද්‍රිකා හා රනිල් යන සියලු දෙනාම එදා වේල පිරිමසා ගැනීම වෙනුවෙන් යුද්ධ කළේය. සාකච්ඡා කළේය. හරියටම ඒ සියල්ලම තනිව බෂීර් විසින් ද කළේය. සුඩානයේ යුද්ධය තීරණාත්මක වන විටත් සුඩාන නායකයා වූයේ බෂීර්මය. ලංකාවේ තත්ත්වය තීරණාත්මක වන විට නායකත්වය මාරු විය. ඒ පතෝල චන්ද්‍රිකා වෙනුවට - කොච්චි මහින්ද පත්වීමෙනි. සුඩානය තවදුරටත් පතෝල බෂීර් විසින් මෙහෙයවමින් සිටියේය. බෂීර් සාමකාමී යුද්ධයක් කළේය. මහින්ද විසින් යුධකාමී යුද්ධයක් කළේය. සුඩානයේ හා ලංකාවේ තත්ත්වය ඉන් වෙනස් විය. මහින්ද විසින් සිහින දකිමින් සිටි ස්වාධීන රාජ්‍යයේ නායකයා විය හැකිව සිටි මිනිසා නසා දැම්මේය. බෂීර් විසින් සිහින රාජ්‍යෙය් නායකයා විය හැකි පුද්ගලයා රැක ගත්තේය. බෂීර් විසින් නයාට කිරි පෙව්වේය. මහින්ද විසින් නයා කූඩු කළේය. නැත. ඔහු නයා කූඩු කලා නොව - නයා කුඩු කළේය. මයාදිත් නම් නයා බෂීර්ට දශ්ඨ කරමින් සිහිනය දිනා ගත්තේය. මහින්ද විසින් ප්‍රභාකාරන් නැමති නයා කුඩු කරමින් සිහිනය ද කුඩු කර දැම්මේය. එහෙයින්, මයාදිත් නව රාජ්‍යයක් පිළිබද සිහිනය මැදියම් රැයේදී සැබෑ කරගත්තේය. නව ඊළමක් පිළිබද සිහිනය ද රැගෙනම ප්‍රභාකරන් මිහිදන් විය.

ලංකාවේ දී මහින්ද දිනුවේය. සුඩානයේදී මයාදිත් නැමති සිහිනධාරියා දිනුවේය. ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යක් විය. සුඩානය තවදුරටත් ඒකීය නොවීය. එසේ නොවන්නේය. දැන් ලංකාව තවදුරටත් එකම ජාතික කොඩියකින් හදුනාගත හැකිව තිබියදී, නිසි කළට නිසි ප්‍රතිකර්ම දියත් නොකිරීම නිසා පෙර පැවති සුඩාන භූමිය සෙවන ලබන්නේ එකිනෙකට වෙනස් කොඩි දෙකකිනි.

Omar-Al Basheer
තවත් කිව යුතු දෙයක් ඇත. ඕමාර් අල් බෂීර්ට හෝ සැල්වා කීර් මයාදිත් හට මානව හිමිකම් උල්ලංඝන චෝදනා නැත. මන්දයත්, ඇමරිකානුවාගේ හෝ එක්සත් ජාතීන්ගේ අභිමථාර්ථ හා අභිලාෂයන් ඔවුන් විසින් දිනා දී ඇත. ඔවුන්ට අවනත වී ඇත. ඕමාර් බෂීර්, ඇමරිකාවට අවනත වී රට දෙකඩ වන්නට ඉඩ හැර - බලා සිටි නිසා දැන් ඕමාර් බෂීර් යනු නියම නායකයෙකි. මිනිස් අයිතිවාසිකම් රැකදුන් මිනිසෙකි. ඇමරිකාවටනම්, ඇමරිකාව විසින් ඉදිරි සාම නොබෙල් ත්‍යාගයට පවා නිර්දේශ කිරීමට බැරි නැති මාරම පොරකි. නමුත්, මහින්ද එසේ නොවෙයි. ඇමරිකාව හෝ වෙනත් බටහිරක්, ඊළමක් වෙනුවෙන් ඇගිලි ගනිමින් සිටියදී මහින්ද ඊළම වෙනුවෙන් නොහැරුණේය. එහෙයින්, මහින්ද යනු කියන දේ නාසන - නාහෙට නාහනා අමණයෙක් ලෙස හදුන්වා දෙමින් ඔහු චුත කිරීමට දැන් වෙර දරයි.

අවසන ලියමි. අද වන විට අප තවදුරටත් ඒකීය රාජ්‍යයක් ලෙස සිටින්නේ මහින්දගේ ඇති නාහෙට නාහනා ගතිය නිසාය. මහින්ද ද කීකරු හා නාස් ලණුවෙන් පාලනය කළ හැකිව තිබූ අවංක - ඕමාර් බෂීර් වැනි හිමිකම් සනාථ කරන එකෙක් වූවානම්, අද වන විට අපේ අසල්වාසී රට වන්නේ උතුරෙන් ඉන්දියාව නොවේ. උතුරෙන් හා අපට ඊළාම් රාජ්‍යය මැයිම් වන්නට ඉඩ තිබිණි. අප තවදුරටත් දූපතක් නොවන්නේය. එසේ වූයේ නම් අප තුන් පැත්තක් මුහුදින් වට වූ අර්ධද්වීපයකි. ලෝකයේ දසවැනියට ලොකුම රට වූ සුඩාන දැන් විශාලත්වයෙන් පසු බැස ඇත. අපට ද සිදු වන්නට තිබුණේ එයම බව නො සිතෙන්නේ ද. ම විසින් මහින්ද දිනුම් යැයි කියන්නේ ඒ අර්ථයෙනි. බෂීර් පරාද යැයි කියන්නේ ද ඒ අර්ථයෙනි. 

Friday, July 8, 2011

SLPL අවලංගුයි වෙයි - ආතල් කුඩු වෙයි

SLPL Logo
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු අන්තර්වාර පාලක මණ්ඩලය (අතුරු කමිටුව) විසින් යෝජනා කර තිබූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, යොදා ගත් පරිදි නොපවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයා විසින් තීරණය කොට ඇති බවට වන ප්‍රවෘත්තියක් ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම වසරේ නියත වශයෙන්ම එම තරගාවලිය යළි නොපැවැත්වෙන බවත්, එවැන්නක් ලබන වසරේදී පවත්වන්නේ ද යන්න මෙතෙක් තීරණය කොට නැති බවත් ඔහුගේ නිවේදනයේ සදහන්.

 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක ආතල් ගැනීමට අප සිහින දකිමින් සිටියෙමු. අපිටත් වඩා  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සපැමිණීම සිහිනයක් කොට ගෙන සිටියේ හෙට දිනයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලෝකය දිනන්නේ යැයි තිර අධිශ්ඨානයක සිටි - ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ය. මෙම  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තීරණය හිටපු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ගනු ලැබූවකි. නමුත්, මේ සදහා අවශ්‍යය තත්ත්වයන් සම්පාදනය කෙරෙහි, අමාත්‍යංශය ද සූදානමින් සිටියේය. හිටපු ක්‍රිකට් ලොක්කන් හෝරුන් යැයි කියමින් - ඔවුන් පත් කරනු ලැබූ ඇමතිවරයාම හෝ ආණ්ඩුවම හෝ විසින් ඔවුන් පන්නා දමා නව අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළේ පසුගිය දින කිහිපයේදීය. ඒ අනුව නව  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නොපවැත්වීමට තීරණය කරනු ලබන්නේ එම කමිටුව විසින් පාලනය කරනු ලබන සමයේදී වීම විශේෂත්වයකි. මේ සිද්ධිය ක්‍රීඩා අර්ථයෙන් කියවීමට වඩා ලංකාවේ පොදු සමාජ සිද්ධීන් අර්ථයෙන් කියවා ගැනීම සුදුසු යැයි සිතේ.

අපේ මුළු ඉතිහාසයම මෙවැනි භ්‍රාන්ත වී ගිය ප්‍රතිපත්ති වලින් නො අඩු ඉතිහාසයකි. එකම ඇමතිවරයාම යටතේ වුව ද අමාත්‍යංශ ලේකම්වරයා මාරු වූ විට ප්‍රතිපත්ති වෙනස් වේ. නැතිනම්, එකම ආණ්ඩුවකදීම වුව ද ඇමතිවරයා මාරු වූ විට ප්‍රතිපත්ති වෙනස් වේ. එවන් තත්ත්වයක් උඩ ආණ්ඩු මාරු වීමක් ගැන කතා කිරීමට පවා අවශ්‍යය නොවේ. අප දන්නා සිද්ධීන් කිහිපයකි. සමගි පෙරමුණු ආණ්ඩුව - මහවැලිය අවසන් කිරීමට දින යොදාගෙන තිබුණේ 2000 වසරේදීය. ඒ අනුව මහවැලිය උතුරින් මුහුදට වැටීමට සැලැස්වීම එහි සිහිනය විය. නමුත්, 77 දී ආණ්ඩුව මාරු විය. ජේ. ආර්.ගේ ආණ්ඩුව විසින් මහවැලිය - කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නමින් නම් තැබුවේය. විසි පස් අවුරුදු ව්‍යාපෘතියක් වසර පහකට කැටි කොට - පවර් ප්ලේ - සංවර්ධනයක් ඇති කරමින් මහවැලිය ත්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මේය. විසිපස් අවුරුද්දක් කල්මැරීමට තැත් කළ මහවැලිය පස් අවුරුද්දකින් නිමා කළේ යැයි පුරසාරම් දෙඩෙව්වේය. බැලූ බැල්මට ඒය මාරම සිද්ධීයකි. නමුත්, වැඩිමනක් කියවා බලන විට - මහවැලියේ මව් ව්‍යාපෘතියට අනුව සැලසුම් කොට තිබූ ඒවායින් බොහෝ යෝජනා කඩිනම් මහවැලියේදී හැලී ගියේය. ව්‍යාපෘති වාර්තාවන්ගේ පිටු බලාන ඉන්නා විට ඉරී-ගැලවී ගියේය.
SLPL Dream Teams

2000 චන්ද්‍රිකා ආණ්ඩුවේ චන්ද්‍රිකා බේරා ගැනීමේ බලෑණිය වූයේ ජ.වි.පෙ.ය. ජේ.වී.පී. මන්ත්‍රීවරුන් වූ අනුර දිසානායක හා බිමල් රත්නායක කෘෂිකර්ම අමාත්‍යංශය භාර ගත්තේය. ලංකාවේ වැව් දස දහසක් හෑරීම සිය ප්‍රමුඛ කාර්යය කරගත්තේය. මේ වැව් හාරන උත්සව වලට සහභාගී වූ ආණ්ඩුවේ ඇමතිවරුන් ම කියා සිටියේ - මේ ව්‍යාපෘතිය පරාක්‍රමබාහු පරපුරේ එකක් බවයි. එය මාරම ව්‍යාපෘතියක් ලෙස අර්ථ ගැන්වීය. නමුත්, 2001 දී ආණ්ඩුව පෙරළී යළිත් 2004 දී සංධානය ආණ්ඩුව පිහිටුවීය. එහිදීත්, ජ.වි.පෙ. ආණ්ඩුවේ සිටියේය. නමුත්, යළි වැව් හෑරීමට ජ.වි.පෙ. නොගියේය. අඩුම තරමේ තත්කාලයේ ධුරය දරමින් සිටි ඇමතිවරයා ලවා, 2001 දී නැවතුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හෝ උත්සුක නොවීය. ඇතැම් වැව් මඩ ගොහොරු කරනු ලදුව අතහැර දැමුවේය. පරාක්‍රමබාහු යුගයට සමාන කරමින් වේදිකා හෙල්ලූ ඇමතිවරුන්ම - වැව් හෑරීම නොමනා අඥාන ක්‍රියාවක් යැයි එම වේදිකාවලම පසුකාලයකදී පට්ට ගසමින් ජ.වි.පෙ. හෑල්ලු කළේය. ඇමති මාරු විය. වැව් - මඩ පොකුණු විය. අඩුම තරමේ ප්‍රතිපත්තිගරුක ජ.වි.පෙ.ට පවා වැව් ටික අමතක විය.

වෙළදපොලේ බාල පෙට්‍රල් තිබුණෝතින් ඉල්ලා අස්වන්නේ යැයි වගේ අදහසක් එන පරිදි ඇමතිවරයා පෙර දිනක පොර ටෝක් එකක් දෙයි. පසුව, වෙළද පොලේ බාල පෙට්‍රල් ඇති බව ඔහුම පිළිගනියි. එසේනම්, පෙර කියූ පරිදි ඉල්ලා අස්වන්න යැයි යෝජනා කර සිටි විට කියා සිටින්නේ “මම එහෙම කියල නෑ“ යනුවෙනි. එසේ නොකීව ද විලිලැජ්ජාවක් තිබේ නම් ඉල්ලා අස්වීම සදහා ඇගිල්ලෙන් අණින තුරු සිටින්නේ නැත. ලැජ්ජාව වසා ගැනීම පිණිස - වරද පිට පටවාගෙන දමා යාම සිදු විය යුතුය. දැන් ලංකාවේ ක්‍රමය එයයි. එවිට, වෙන ඇමතිකමක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වුවත් - ටික කාලයකට ප්‍රතිපත්ති රකින්නේ යැයි ඉගි කරනු ලබන පොරක් විය හැක. (උදාහරණ - හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය. කටුනායක සිද්ධියේ වැරදිකරු වීම ස්ව කැමැත්තෙන් භාරගෙන ඉල්ලා අස්වූවා යැයි හගවා නිවාඩු දැම්මේය. වරදට දඩුවම ලෙස තානාපති කමක් දී රටින් පිටුවහල් කරනු ලැබීමට සූදානම් යැයි ආරංචි ඇත.)

සුභ අනාගතයක පෙර නිමිති දකිමින් සිටිනෝ වෙමු. ආසියාවේ ආශ්චර්ය උදා වන තුරු ජනේලයෙන් ලෝකය දෙස බලාගෙන හූල්ලමින් සිටින්නෝ වෙමු. මහින්ද චින්තනයේ හෝ එහි දෙවැනි කොටස වූ මහින්ද චින්තන ඉදිරි දැක්මේ ඇති දේ ප්‍රායෝගික විය යුතුය. අඩුම තරමේ එකම ආණ්ඩුපාලනයකදී හෝ ගනු ලබන තීරණ හෝ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති නියත හෝ සමගාමී විය යුතු වෙයි. එසේ නොවන්නේ නම් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු වෙයි. අද වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැටුප වෙනුවෙන් ලන්සු දමන තත්ත්වයට පත්ව ඇත්තේ මේ ජාතික ප්‍රතිපත්තියක් අහිමි වීමේ ඛේදවාචකයේ ප්‍රතිඵලයක් ලෙසයි. ආකර්ශනීය බස් දොඩමින් පටු දේශපාලන වාසි තකා විශ්ව විද්‍යාල සිසුන් බා ගැනීමට හැකිව ඇත්තේ ජාතික ප්‍රතිපත්තියේ ඇති හිඩැස නිසාය.

ලංකාවේ ප්‍රතිපත්ති නුවන් හෙට්ටිආරච්චිගේ රගර් ගැහිල්ල හා සමානය. උදේට කැන්ඩි ටීම් එකටද - දවල්ට නේවි ටීම එකට ද ක්‍රීඩා කරන ඔහු යළිත් සවස් වරුවේ කැන්ඩි ටීම් එකට ක්‍රීඩා කරයි. ඒ සියල්ල අවසානයේ ඔහු වැරදි කරු වෙයි. අවසානයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) හා 34(1) ව්‍යවස්ථා අනුව ජනාධිපති පොදු සමාව හිමි වෙයි. දැන් නුවන් හෙට්ටිආරච්චි වරදක් කොට නැත. වඩා වැදගත් වන්නේ සමාව දීම නොව. විලි ලැජ්ජා නැති ලෙස එවැනි නීති කඩ කරමින් සිට වැරදි කරු වූ පසු සමාව දෙන්න යැයි වැද වැටීමයි. එවැනි එකෙකු සිරගත කිරීම පවා ජාතික ධනයට අපරාධයක් වන හෙයින්, සමාව දී වැඩක් බලාගෙන ඉන්නා ලෙසත්, යළිත් පැත්ත පළාතේ නොඑන ලෙසත් අවවාද කොට එළවා ගැනීම වටියි. 

Sports Minister M. Aluthgamage (MP / Kandy Dist.)
එහෙයින්, ඇමතිවරුන් විසින් දෙබිඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම  නැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුව ඇත. 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිද වැටෙන්නේ ද මෙවැනිම - ඇමති හිතලූ සහ  ඇස්පනාපිට ප්‍රතිපත්ති බිදී යාම වැනි කරුණු නිසාය. ඒවාට නිසි පිළියම් දිය යුතුව ඇත. 

අද වන විට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සිදුව ඇත්තේ ද යටකී ඉරණමට මුහුණ දීමටයි. ආණ්ඩුව හෝ ඇමතිවරයා නොව - පරිපාලනයේ ඉතාම පහල අධිකාරියක් වූ පාලක මණ්ඩලයේ අතුරු කමිටුව මාරු වූ විටදීම පෙර යෝජනා වීසි වෙයි. මෙම කමිටුව ඡන්දයකින් පත්වූයේ නම් එසේ වීම සාධාරණ යැයි සිතන්නට පුළුවන. නමත්, මෙම කමිටුව පත්කරනු ලබන්නේ ද පෙර කමිටුව පත්කරනු ලැබූ ඇමතිවරයාම ය. ආණ්ඩුව පෙර එකමය.  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ආතල් එකට වඩා මෙය වඩාත් වැඩි ආතල් එකක් සපයයි. ප්‍රතිපත්ති පිට ප්‍රතිපත්ති මුද්‍රණය කරමින් රට පුරා බෙදා හැරිය ද ඒවාහි ඇති එක් පාපිල්ලක ඉස්පිල්ලක දෙයක් හෝ ක්‍රියාත්මක නොවන්නේ නම් ඉන් කිසිදු ඵලක් නැත. ඇති එකම ප්‍රයෝජනය - බත් ගෙඩියක් බැද ගැනීම පිණිස ලොකු පත්තරයක් නොමිලේ හම්බ වීම පමණි. ඒ ආතල් එක හැර වෙනත් කිසිදු ආතල් එකක් නැත.

අවසන ලියමි. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සංවිධාන කළ යුතුව තිබුණේ සහ එසේ කළ යුතුව ඇත්තේ - ඉන්දියානු හෝ වෙත් විදේශ ක්‍රීඩකයින් සහභාගී වන අයි.පී.එල්. වැනි සැණකෙළියක අවශ්‍යතාවය සපුරාගැනීමට නොවන්නේ යැයි මගේ හැගීමයි. ඉන්දියාවට සැණකෙළි කළ හැක. යහමින් මුදල් ඇත. යහමින් තරග දිනා ඇත. එසේම, යහමින් දෙවැනි හා තෙවැනි පෙළක් ද ඇත. ඒ නිසා, දෙවැනි හා තෙවැනි පෙළ ක්‍රීඩකයින්ගේ රැස් පෙන්වීමට හා තව තවත් මුදල් ඉපයීමට අයි.පී.එල්. සංවිධාන කළේය. නමුත්, අපිට එවැනි සැණකෙළි කරන්නට තරම් යහමින් මුදල් නැත. ඉන්දියාව ෆ්‍රයිඩ් රයිස් කන විට අපි සම්බෝලයි බතුයි හෝ කමින් ජීවත් වෙයි. වඩා වැදගත් එයයි. එසේම, ලංකාව සතුව ශක්තිමත් දෙවැනි පෙළක් හෝ තෙවැනි පෙළක් නැත්තේම නැති වුව ද ඇත්තේ ම නැත. එහෙයින්, අප කළ යුතුව ඇත්තේ - ක්‍රිකට් විකිණීමට හැකි පමණ ක්‍රිකට් සංවර්ධනය කර ගැනීමයි. ලංකාවේ ප්‍රීමියර් ලීග් සංවිධාන කළ යුතුව ඇත්තේ ලංකාවේ දෙවැනි පෙළක් සොයා ගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවය තෘප්ත කරගැනීම පිණිසයි. ඉන් පසු අප විසින් ඔවුන් පදම් කළ යුතුව ඇත. එසේ පදම් කිරීමෙන් පසු - ඔවුන් වෙනත් රටවල ඩොමෙස්ටික් තරග සදහා විකිණිය හැකිව ඇත. අද එස්.එල්.පී.එල්. සංවිධාන කරමින් අපේක්ෂා කරන මුදල් ඉපයීම හා දෙවැනි පෙළ ශක්තිමත් කිරීම එසේ ද කළ හැකිව ඇත. SLPL යොදාගත් පරිදි - හැකි පමණ පැවැත්විය යුතු යැයි යන්න මගේ පුද්ගලික අදහසයි. අය අපිට ඇති පරිදි හා හැකි පරිදි කළ හැකිව තිබිණි. මන්දයත්, Something is Better Than Nothing නිසාය. ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතුව ඇත.

Proposing Dy. Ministers
තවත් යමක් ලියමි. යෝජනා කරමි.  ක්‍රීඩා ඇමති කම වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ නොවන - ක්‍රීඩාවේ හය හතර දන්නා මිනිසෙක් දැන්මම සොයා තබා ගැනීම සුදුසු වන්නේ යැයි ජනාධිපතිවරයාට ඉගි කරමි. කුමක් හෝ ක්‍රීඩාවක් ආදරයෙන් කරනු ලැබ ඇති - ක්‍රීඩාවේ ජීව ගුණය හදුනණා - ප්‍රතිපත්තිගරුක ලෙස යමක් කළ හැකි කොන්දක් ඇති මිනිසෙක් ඒ වෙනුවෙන් අවශ්‍යකර තිබේ යැයි කියමි. තව තවත් ඉගි කරමි. අඩුම තරමේ නියෝජ්‍ය ඇමතිකමවත් එවැන්නෙකුට දී ක්‍රීඩාව රැක ගැනීමට කටයුතු කරන්නේ නම් වටින්නේය. ඥාතිකම් අදාල නැත. සුදුස්සෙක් සිටින්නේ නම් - නො ඥාතියා සේම ඥාතියා ද ඒ සදහා ගැලපෙන්නේය. ආරක්ෂක ලේකම්කම දෙන විට කෑ ගැසූ එකෙක්වත් දැන් කටක් නොඅරින්නේ ඒ තේරීමේ වරදක් පෙන්විය නොහැකි නිසාය. එහෙයින්, ක්‍රීඩාවේ අභිවෘද්ධිය තකා ද එවැනිම තේරීමක් කළ යුතු කාලය එළැඹ ඇතැයි කියමි.

Wednesday, July 6, 2011

ජොතිපාල ඇත්තටම පොරක් ද

එච්. ආර්. ජෝතිපාල යනු අදින් වසර 24 කට පෙර අදවන් දිනක මිය ගිය සාමාන්‍ය ගායකයෙකි. නමුත්, ජෝති මිය යන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසින්ම නොවේ. ඔහු මිය යනු ලබන්නේ, අනාගතය වෙත මාතෘකා හා අවකාශ අවස්ථා සපයා දුන් අවස්ථා සලසන්නෙකු ලෙසයි. ජෝතිගේ මරණය සිදුවූ ජූලි මස 7 වෙනිදා අත්‍යාසන්න වෙමින් පවත්නා විට - අපේ කාර්යාල වල කළා හා සංස්කෘතික හෝ නිර්මාණ අංශයන්හි උදවිය දැඩි තකළ බලකාරී කරයි. ජෝති ගැන කියවීමට වැඩි කාලයක් වැය කරයි. ජෝතිගේ ඥාතීන් හා හිතවතුන් සොයා ගැනීම පිණිස දසත අමතයි. ජෝති ගැන ලියවුණු පොත-පතෙහි කතෘවරුන් හබා යයි. අඩුම තරමේ - ජෝති සමග එකට මතුවිත තොල ගෑවෙකු හෝ හොයා ගැනීමේ නොනිමි අරගලයක් දියත් කරයි. ඒ කුමක් සදහා ද. ඇත්ත වශයෙන්ම, ජෝති යනු ඒ තරම් මහන්සියෙන් වෙහෙසී යමක් කළ යුතුව ඇති අනුස්මරණීය හෝ සදානුස්මරණීය මිනිසෙක් වී සිටින්නේ ද. කියවා ගත යුතු දේ කිහිපයකි.

ජෝති යනු මියයන විට - ගැලරියට ගී ගයන ලපයි සිපයි ගායකයෙක් යැයි සම්භාවනීය කුලයේ විවේචනයට ලක්ව තිබිණි. ඊට හේතු කීපයකි. රාගයට හෝ පොතේ ඇති ලතාවට ගී ගයන සම්භාවනීය හා ‘සිරා සංස්කෘතික‘ පොරවල් අභිබවමින් ලවක් දෙවක් නැතිව ගැලරිය අමතමින් සිටින ජෝති ලංකාවේ නන් දෙස හදවත් විසින් වැලද ගනිමින් සිටියි. සම්භාවනීයයන් හට මෙය දරා ගැනීමට හෝ දිරවා ගැනීමට නොහැකි මහා ඊර්ෂ්‍යාවක් ජනිත කරන සිද්ධි මාලාවක් වූයේ නම් - එහි ඇති වරදක් මා නොදකිමි.

දැන් අප විසින් ජෝති ගැන යමක් කියවා ගත යුතු කරුණු කිහිපයක් ඇත.

පළමු අදියර
70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව,  ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි.  මරදානේ සිංදු  කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්‍යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.

දෙවැනි අදියර
මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද  කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ. 
ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.

තුන්වෙනි අදියර
කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.
පුරුෂ යුග ගී
  1. මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල
  2. පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල
  3. අපි සන්තෝසෙන් ඉන්නේ -  මිල්ටන් පෙරේරා
  4. තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්
ස්වතන්ත්‍ර නිර්මාණ
  1. ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න
  2. අමර පෙම් ලතාවේ - සරත් දසනායක
  3. වාසනාව දොර ඇරලා - එම
  4. සල් සපු නා - එම
  5. සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්
හින්දි කොපි
විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.

එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්‍රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.
ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි. 

අවසන් අදියර
1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්‍රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.
ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.

අද වන විට සියලු මාධ්‍යන් විසින් ජෝති වන්දනා කරමින් සිටින්නේ අනෙකක් නිසා නොවේ. දහස් ගණනක් වූ ජෝතිගේ සිංදු නෙවන්නට අද වන විට රේඩියෝ හෝ එෆ්. එම්. නාලිකා වල පැවැත්ම පිළිබද සිතා ගන්නටත් බැරි ඛේදනීය තත්ත්වයකට පත්ව තිබෙතැයි සැක කළ හැකිය. යටකී පරිදිම, අද වන විට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් - ඒ අතරිනුත් රේඩියෝ සියල්ලම පාහේ ගීත පදනම් කරගත් වැඩසටහන් ප්‍රචාරය කරන්නන්ය. එහෙයින්ම, ජෝති යනු ඔවුන්ගේ-අපේ ගුවන් කාලය ජනතා කැමැත්ත දිනා ගත හැකි පරිදි යමක් කරගැනීමට හොදම මාර්ගයයි. අද වන විට මාධ්‍ය විසින් ජෝති විසින් සැමරිය යුතුව ඇත. මන්දයත්, රේඩියෝ පවතින්නේ ජෝති මත පදනම්වම නොවූවත් - ජෝති විසින් වැඩසටහන් බොහෝමයක් තීරණය කරනු ලැබ ඇති බව ද රේඩියෝ වල පැවැත්ම තීරණය කර දෙනු ලබන බවත් පිළිගත යුතු සත්‍ය තත්ත්වයකි.